යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්රේමරත්න මහතා තම කෙඩෙට් නිලධාරි පුහුණු කාලසීමාවේදී උපදේශකවරුන් ලෙස කටයුතු කළ විශ්රාමික ජ්යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් පිරිසක් ඊයේ (27) යුද්ධ හමුදා මූලස්ථානයේදී හමුවී තිබේ.
මෙම හමුවට බ්රිගේඩියර් එම්. මායාදුන්න (විශ්රාමික) සහ බ්රිගේඩියර් බී. එල්. ආර්. බමුණුසිංහ (විශ්රාමික) යන ජ්යෙෂ්ඨ නිලධාරීන්ද එක්ව සිටියහ.
එහිදී, තම පුහුණු කාලසීමාවේ අත්දැකීම් සිහිපත් කළ යුද හමුදාපතිවරයා, සිය වෘත්තීය හමුදා ජීවිතය හැඩගැස්වීමට උපදේශකවරුන් ලබාදුන් මඟපෙන්වීම අගය කළේය. විනය, නායකත්වය සහ වෘත්තීයභාවය වර්ධනය කිරීම සඳහා ඔවුන් ඉටුකළ වැදගත් කාර්යභාරය පිළිබඳවද ඔහු සිය ප්රසාදය පළ කළේය.
















