ජිප් රථයක් ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 59ක මුදලක් ලබාගෙන සාවද්ය පරිහරණය කළ බව කියන සිද්ධියකට අත්අඩංගුවට ගත් කොළඹ මහා නගර සභාවේ හිටපු නගරාධිපති මොහොමඩ් මුසම්මිල් මහතාගේ පුත් උමයිර් මුසම්මිල්ට ඇප ලබාදීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් ලහිරු සිල්වා මහතා අද (28) නියෝග කර තිබේ.
ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් වංචා විමර්ශන කාර්යාංශය සඳහන් කර ඇත්තේ, ජිප් රථයක් ලබාදෙන බව පවසා සැකකරු පැමිණිලිකරුගෙන් රුපියල් ලක්ෂ 59ක මුදලක් ලබාගෙන ඇති බවයි. පසුව දෙපාර්ශ්වය රථය අලෙවි කිරීමට අදාළ පුද්ගලයෙකු හමුවී ඇති නමුත්, පැමිණිලිකරුට ජිප් රථය ලබාදීම හෝ ලබාගත් මුදල ආපසු ගෙවීම සිදුකර නොමැති බවට විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබේ.
සැකකරු අධිකරණයට ලබාදුන් ප්රකාශවලදී අදාළ මුදල පැමිණිලිකරුට ආපසු ලබාදුන් බව සඳහන් කර තිබුණද, එය තහවුරු කිරීමට සාක්ෂි නොමැති බව විමර්ශන නිලධාරීන් පවසා ඇත.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අදාළ මුදලට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව විමර්ශනය කරන ලෙස ඉල්ලා ඇති අතර, සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඔහු ඇප මත මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබේ.
සිද්ධියට අදාළ නඩුව ලබන ජනවාරි 20 වැනිදා යළි කැඳවීමට නියමිතය.
















