උද්ධමනය සියයට 8 ඉක්මවා යාමත් සමඟ ජීවන වියදම තවදුරටත් ඉහළ ගොස් ඇති අතර, ශ්රී ලංකාවේ පවුල්වලින් සියයට 75කට ආසන්න ප්රමාණයකට දෛනික ජීවන වියදම් පියවා ගැනීමට ප්රමාණවත් ආදායමක් නොලැබෙන බව වාර්තා වේ.
ලෝක බැංකු අධ්යයනයකට අනුව, 2019 සිට 2023 දක්වා කාලය තුළ සැබෑ ශ්රම ආදායම සියයට 40කට වඩා පහත වැටී ඇති අතර, එය තවමත් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්ව නොමැත. එමෙන්ම කාන්තා ශ්රම බලකා සහභාගීත්වය 2019දී පැවති සියයට 34.5 සිට 2024දී සියයට 32.4 දක්වා පහත වැටී තිබේ.
අදාළ වාර්තාවේ සඳහන් වන පරිදි, 2026 වන විටත් ශ්රී ලාංකිකයන්ගෙන් සියයට 40ක් දිළිඳුකමින් පෙළෙන හෝ දිළිඳුකමට ඇද වැටීමේ අවදානමට ලක්ව සිටිති. මෙම තත්ත්වය මධ්යම පන්තිය හැකිළීම සහ පවුල්වල මූල්ය පීඩනය ඉහළ යාම සමඟ සම්බන්ධ වී තිබේ.
බස්නාහිර පළාතට සාපේක්ෂව අනෙකුත් පළාත්වල දිළිඳුකමේ අනුපාතය දෙගුණයක සිට තෙගුණයක් දක්වා ඉහළ මට්ටමක පවතින බවත්, වතු ක්ෂේත්රයේ දිළිඳුකම ජාතික සාමාන්යයට වඩා තුන් ගුණයක් බවත් වාර්තාවේ සඳහන් වේ. 2019 සිට 2024 දක්වා කාලය තුළ දිළිඳු පවුල්වල මූලික අවශ්යතා සපුරාලීමට අවශ්ය සම්පත් හා ඔවුන් සතු සම්පත් අතර පරතරයද ජාතික මට්ටමින් දෙගුණ වී ඇති බව වාර්තා වේ.
පරිභෝජන බදු හේතුවෙන් ජනතාවට සහ ව්යාපාරවලට එල්ල වන පීඩනය පිළිබඳවද වාර්තාව අවධානය යොමු කරයි. පරිභෝජන බදු දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 12ක් පමණ වන බව සඳහන් කරමින්, එම බදු භාණ්ඩ හා සේවාවල මිල ගණන් සහ ගෘහස්ථ වියදම් කෙරෙහි බලපෑම් ඇති කරන බවද පෙන්වා දෙයි.
මෙම ආර්ථික පීඩනයේ ප්රතිඵලයක් ලෙස ඇතැම් පවුල් ආහාර වේල් අඩු කිරීම, දරුවන්ගේ පෝෂණය සම්බන්ධ ගැටලුවලට මුහුණදීම සහ ශ්රම වෙළෙඳපොළෙන් ඉවත්වීම වැනි තත්ත්වයන්ට මුහුණ දෙන බව වාර්තාවේ සඳහන් වේ.
















