‘ලක් ශිල්ප’ විද්‍යුත් අලෙවිකරණ වෙබ් අඩවිය එළි දැක්වීමත් සමඟම නිර්මාණය වන ‘ලක් ශිල්ප’ ඩිජිටල් වේදිකාව මෙරට හස්ත කර්මාන්ත ශිල්පීන්ට ජාත්‍යන්තර වෙළෙඳපොළ ජය ගැනීමට මඟ පෙන්වනු ඇතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (22) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති ජාතික ශිල්ප සභාව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ද සහයෝගය ඇතිව නිර්මාණය කළ www.lakshilpa.com වෙබ් අඩවිය එළිදැක්වීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.”සම්ප්‍රදායික, නිර්මාණාත්මක කර්මාන්තයක යෙදී සිටින අපේ ප්‍රජාව බලගැන්වීම සඳහා අද තබනු ලැබූ ඉදිරි පියවර සම්බන්ධයෙන් ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික ශිල්ප සභාවට අපේ සුබාශිංසන ප්‍රථම කොටම පුද කරනවා. අපේ ඉතිහාස කතාව තුළ අපටම ආවේණික වූ කලාවන් සහ කර්මාන්තයන් රැසක් අපට හමුවෙනවා. මම ළඟදි දුටුවා වීඩියෝ පටයක්. එහි දැක්වෙනවා, කැනඩාවේ හෝ යුරෝපා රටක විදේශිකයෙක්, තවත් විදේශිකයකුට ලංකාවෙන් රැගෙන ගිය පැරණි කඩුවක තිබෙන කැටයම් පිළිබඳ වර්ණනා කරන ආකාරය. ‘ඒ කඩුවෙන් මැරුම් කෑවත් කමක් නැහැ’ කියා අයෙකුට හිතෙන අන්දමේ මවිතය දනවන කැටයම් එහි තිබුණා. තමන්ගේ සුරත, දෑත යොදාගනිමින් අපේ පැරැන්නන් ඉතා ඉවසීමෙන්, සංයමයකින් භාවනාවක යෙදෙන ආකාරයට තමයි මේ කලා කෘති අපේ ප්‍රජාවට දායාද කළේ.
අපේ මුතුන් මිත්තන් කඩු පමණක් නොවෙයි බොහෝ අවි ආයුධ නිපදවූයේ ඊට කැටයම් කලාවත් අන්තර්ගත කරමිනුයි. ඒ බව බොහෝ දෙනෙකු දන්නේ නැහැ. පෘතුගීසීන්ගේ පැරණි පොත්වල තිබෙනවා, ‘ටිකිරි බණ්ඩාර කුමාරයා කරපු සටනේදී සිංහල හමුදාව ‘ග්‍රෙනේදා’ යන නමින් යුක්ත ආයුධයක් පාවිච්චි කළා’ කියා. ‘එහි සවි කළ වෙඩි බෙහෙත් තැවරූ නුලකට ගිනි තබා එම ආයුධය අප දෙසට විසි කළාම, වෙඩි බෙහෙත් සහ යකඩ කැට පිරී තිබෙන එය පුපුරා යන්නේ අපේ සෙබළුන් බොහෝදෙනකු යකඩ කැට වැදී තුවාල වීමෙනුයි’ කියා එම පොත්වල ආයුධයේ ස්වාභාවය සඳහන් කරමින් ලියා තිබෙනවා. ‘ග්‍රෙනේඩ් එකේ’ ආරම්භය තමයි එදා අපේ මුතුන් මිත්තන් එලෙස සනිටුහන් කළේ. අවාසනාවට අපේ රටේ දරුවන්ට බොහෝ වෙලාවට උගන්වන්නේ අපේ රටේ ඉතිහාසයට වඩා වෙනත් රටවල ඉතිහාසයයි. අපේ ඉතිහාස කතාව තුළ තිබෙන මහා නිෂ්පාදන හැකියාව, නිර්මාණාත්මක කලා හැකියාව අපේ පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යාම සිදුවන්නේ ඉතා සෙමින්. එම අඩුපාඩුව නිවැරදි කරන්නයි ජාතික ශිල්ප සභාව වැනි ආයතන පිහිටුවා තිබෙන්නේ. එමගින් එක්තරා සුළු පිරිසක්ට සීමා වූ මේ කලාව, දැනුම අපේ සමාජයේ පුළුල් පිරිසක් අතරට රැගෙන යාමට පුළුවන්.
අද ලෝකය වෙනස් දේවල් සොයමින් සිටිනවා. අද යුරෝපයේ බොහෝ තරුණ තරුණියන් නිර්මාංශ ආහාර සොයනවා. සතුන්ගේ හම් භාවිතා නොකර සෑදූ බෑග් සහ පාවහන් සොයනවා. ඒ වගේම කාබනික ආහාර නිපදවනවා. අද යුරෝපා වෙළෙඳපොළේ වැඩියෙන්ම අලෙවි වන්නේ භාණ්ඩයට වඩා භාණ්ඩය සමග තිබෙන කතාවයි. මට යුරෝපා වෙළෙඳපොළේ බොහොම ප්‍රබලව නිෂ්පාදන අලෙවි කරන මහතකු පැවැසුවා, ‘හොඳ ස්ටෝරි එකක් තිබෙනවා නම් මට ගල් කැටයක් වුවත් විකුණාගන්න පුළුවන්’ කියා. අපේ මේ නිර්මාණ හැම එකක් සමගම බැඳුණු හොඳ කතාවක් තිබෙනවා. ඒ කතාව සමහරවිට තවත් කෙනෙකුගේ ඇසට කඳුළු උනන තරම් සංවේදී කතාවක් විය හැකියි. ඒ කතාවයි, නිර්මාණයයි එකට එකතු කරලා දුන්නා ම තමයි ඒ නිර්මාණයට දැනට නැති වටිනාකමක් ලැබෙන්නේ. නිදසුනක් ලෙස ‘මේක ආබාධිත රණවිරුවෙක් බොහෝ දුෂ්කරතා මැද දීර්ඝ කාලයක් මහන්සි වෙලා හැදුවේ’ යන කතාව යම් නිර්මාණයක් පිළිබඳව අපට අසන්නට ලැබුණොත් අපේ හිත කියනවා ‘මේක කීය හරි දීලා ගනින්’ කියා. මේ හැම නිර්මාණයක් සමඟම බැඳුණු කතාව, අපට නිවැරදිව පෙළගස්සවා, සමාජගත කර ගැනීමට පුළුවන් වුණොත් අපේ මේ අත්කම් නිර්මාණකරුවා මීට වඩා ඉහළට ඔසවා තැබීම ඉතාම පහසුයි.
දේශීය කුඩා කර්මාන්තකරුවා ඉහළට ඔසවා තැබීමේ අවශ්‍යතාව හොඳින් දැකපු නිසා තමයි අතිගරු ජනාධිපතිතුමන් කර්මාන්ත කැබිනට් අමාත්‍යාංශය යටතේ ම රාජ්‍ය අමාත්‍යාංශ තුනක් දේශීය ඇඟලුම් නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත හා වේවැල්, පිත්තල, මැටි, ලී බඩු ආශ්‍රිත කර්මාන්ත වෙනුවෙන් පිහිටුවනු ලැබුවේ. වේවැල්, පිත්තල, මැටි, ලී බඩු ඇතුළු ග්‍රාමීය කර්මාන්ත ක්ෂේත්‍රය තමයි ප්‍රසන්න රණවීර මැතිතුමාට පැවරුණේ. මුල් කාලයේ එම අමාත්‍යාංශයේ නාමකරණයට පවා ආපු උසුළු විසුළුවලට උපේක්ෂා සහගතව මුහුණ දෙමින්, එසේ උසුළු විසුළු කරපු අයට එසේ කිරීම වරදක් යන හැඟීම ඇති කරවමින්, තමන්ට පැවරුණු වගකීම ඉතාම කාර්යක්ෂමව ඉටු කිරීමට එතුමා කැප වුණා. කොවිඩ් වසංගතය හේතුවෙන් අපේ සැලසුම් ඒ විදිහටම ක්‍රියාත්මක කිරීමට බැරි වුණත් යම්තාක් දුරකට ඒ තත්ත්වය පාලනය කර ගනිමින් අපි ඉදිරියට යමින් සිටිනවා. නමුත් විපක්ෂයේ උද්ඝෝෂණ තව තුන හතරක් ආවොත් සමහර විට මේ තත්ත්වය වෙනස් වීමට පුළුවන්.
අද අපි විදේශ විනිමය උපයා ගැනීමේ අර්බුදයක සිටිනවා. දැන් තමයි සංචාරක ව්‍යාපාරය හිමින් හිමින් පණ ගහගෙන එන්නෙ. හස්ත කර්මාන්තයත් සංචාරක ව්‍යාපාරය සමග ගැට ගැසුණු කර්මාන්තයක්. අපේ හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිර්මාණ වැඩි මිලක් ගෙවා ලබාගන්නේ සංචාරකයන් විසිනුයි. සංචාරක ව්‍යාපාරය බලගන්වා ගැනීම මේ කර්මාන්තයට අදාළ අත්‍යවශ්‍ය කොන්දේසියක්. දැනට මේ රට හරිත කලාපයේ පවතින නිසයි සංචාරකයන් එන්නේ. නැවතත් රතු කලාපයට ගියොත් එය නතර වේවි. ඒ නිසා අපි හස්ත කර්මාන්ත ශිල්පීන් මෙසේ රැක ගන්නා ගමන් ම ඔවුන්ගේ ස්වාභාවික වෙළෙඳපොළ ශක්තිමත් කරන සංචාරක ව්‍යාපාරය ආරක්ෂා කර දීම වෙනුවෙනුත් කැප විය යුතුයි.
අද මේ ආරම්භ කරනු ලැබූ ඩිජිටල් වේදිකාව, අපේ හස්ත කර්මාන්ත ශිල්පීන්ට සිය නිර්මාණ ජාත්‍යන්තර වෙළඳපොළට රැගෙන යාමට මඟ පෙන්වා දෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. මේ වෙනුවෙන් යුහුසුළුව කැපවූ ප්‍රසන්න රණවීර රාජ්‍ය අමාත්‍යතුමන්, එම රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමන්, ජාතික ශිල්ප සභාවේ සභාපතිතුමන් ඇතුළු සියලුදෙනාට මාගේ කෘතවේදිත්වය පුද කරනවා.”
ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ යන මහත්වරු ද මෙම උත්සවයට විශේෂ ආරාධිතයෝ ලෙස සහභාගී වී සිටියහ. උත්සව සභාව පිළිගැනීම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එම්. ඒ. බී. වී. බණ්ඩාරනායක මහතා විසින් සිදු කළ අතර අමාත්‍ය නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යන මහත්වරු ද සභාව ඇමතූහ.