කුරුවිට, වැලිහින්ද ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී පිහි පෙන්වා බියගන්වා මැණික්, රන් භාණ්ඩ ඇතුළු දේපළ කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ 35 හැවිරිදි සැකකරුවෙකු රත්නපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රත්නපුර පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පසුගිය අඟහරුවාදා (12) මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී සොරාගත් දේපළ ද සැකකරු සන්තකයේ තිබී සොයාගෙන ඇත.
පොලිස් පැමිණිල්ලට අනුව සැකකරු රාත්‍රී කාලයේ අදාළ නිවසට ඇතුළු වී නිවැසියන්ට තියුණු ආයුධවලින් තර්ජනය කර මෙම කොල්ලකෑම සිදුකර ඇති බව සඳහන් වේ. අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන මැයි මස 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණි. රත්නපුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.














