බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරයෙන් අපේක්ෂිත මෙගාවොට් 35 ක ධාරිතාවය හැකි ඉක්මණින් ජාතික පද්ධතියට එක්කිරීමට බලාපොරොත්තු වෙනවා” යැයි විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
අමාත්‍යවරිය මේ බව පැවසුවේ ඊයේ (15) පස්වරුවේ බ්‍රෝඩ්ලන්ඩ් බලාගාර පරිශ්‍රයේ පැවති විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
කැළණි ගඟ ආශ්‍රිතව පොල්පිටිය, කිතුල්ගල ප්‍රදේශයේ ස්ථාපිත ලක්ෂපාන සංකීර්ණයේ අවසාන ජලවිදුලි බලාගාරය වන බ්‍රෝඩ්ලනඩ් බලාගාරය, 2013 වසරේදී වැඩ ආරම්භ කළ අතර මේ වනවිට එහි ඉදිකිරීම් කටයුතු සාර්ථකව නිමවී තිබේ. මෙම ව්‍යාපෘතිය සදහා වැයවන ඇස්තමේන්තුගත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 82 කි. ඉදිකිරීම් කටයුතු චීනයේ චයිනා නැෂනල් ඉලෙට්‍රික් සමාගම මගින් සිදුකරන අතර මෙහි විශේෂත්වය වන්නේ උපදේශන හා අධීක්ෂණ කටයුතු දේශීය ඉංජිනේරුවන් අතින් සිදුවීමයි.
මෙම බලාගාරයේ ධාරිතාව මෙගාවොට් 35 ක් වන අතර එමගින් වාර්ෂිකව ගිගාවොට් පැය 126 ක් (බලශක්ති ඒකක මිලියන 126 ක්) නිෂ්පාදනය කළ හැකිවේ. එසේ නිපදවන විදුලි බලය, බලාගාරය අසල ඉදිවූ වහරු අංගනයේ සිට කිලෝවොට් 132 දිග ද්විත්ව රැහැන් මාර්ගයක් ඔස්සේ මිටර් 200 ක් පමණ දුරින් පිහිටි පොල්පිටිය – මාලිබොඩ සම්ප්‍රේෂණ රැහැන් මාර්ගය හා සම්බන්ධ කිරීමෙන් ජාතික විදුලිබල පද්ධතියට එක්කෙරෙනු ඇත.
මෙම නිරීක්ෂණ චාරිකාවට පාර්ලිමේන්තු මන්ත්‍රීනි රාධිකා වික්‍රමසිංහ, සබරගමුව පළාත්සභා සභාපති කංචන ජයරත්න යන මහත්ම මහත්මින් ඇතුළු ප්‍රදේශයේ දේශපාලනාධිකාරියත්, ලංකා විදුලිබල මණ්ඩලයේ සහ බ්‍රෝඩ්ලන්ඩ් ජලවිදුලි බලාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.