රට තුළ ස්ථාවර ආර්ථිකයක් ගොඩනැඟීම සහ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීම අද රට හමුවේ ඇති ප්‍රධාන වගකීම් බවත්, කුමන පක්ෂයක් නියෝජනය කළද එම අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් තමන් සමඟ එක්වන ලෙස තමා සියලු දේශපාලන පක්ෂ වෙත නැවත ආරාධනා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
රටේ සියලු ජන කොටස්වල අයිතිවාසිකම් ආරක්ෂා කරන අතරම, සංහිඳියාවට අදාළව මෙතෙක් නොවිසඳී ඇති ගැටළුවලට කඩිනම් විසඳුම් ලබාදීම තම අපේක්ෂාව බව පැවසු ජනාධිපතිවරයා ඒ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් එළැඹෙන මාර්තු මාසයේදී සිදු කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ බදුල්ල, ගුරුතලාව මුස්ලිම් ජාතික පාසලේ සියවස් සැමරුම් උත්සවයට අද (27) පෙරවරුවේ එක් වෙමිනි.
ඌව පළාතේ පිහිටා ඇති එකම මුස්ලිම් ජාතික පාසල වන ගුරුතලාව මුස්ලිම් ජාතික පාසල වෙත පැමිණි ජනාධිපතිවරයා එහි සිසු දරුවන් විසින් මහත් හරසරන් පිළිගනු ලැබීය.
සියවස් සැමරුම නිමිත්තෙන් එළිදැක්වුණු විද්‍යාලයේ නව වෙබ් අඩවිය විවෘත කෙරුණේද ජනාධිපතිවරයා අතිනි.
විද්‍යාලයේ සියවස් සැමරුමට සමගාමීව එළිදැක්වුණු සමරු කලාපය විදුහල්පති ඒ. ඒ. සම්මුන් මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.
අ.පො.ස සාමාන්‍ය පෙළ සහ අ.පොස උසස් පෙළ විභාගයන්හිදී විශිෂ්ඨතා දැක්වූ විද්‍යාලයීය සිසු දරුවන් වෙත පදක්කම් පැළඳවීමද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදුවිය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ” රටේ දරුවන්ට හොද අනාගතයක් ගොඩනඟා දීමට නම් රජය ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ගෙන යා යුතුයි. ඒ සඳහා මේ වන විට ලෝකයේ රටවල සහාය ලැබී තිබෙනවා. මේ වැඩපිළිවෙළ තුළ අප ඉදිරියට ගමන් කළහොත් නියත වශයෙන්ම රට තුළ ස්ථාවර ආර්ථිකයක් ඇති කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ සමඟම රටේ අනෙකුත් ප්‍රශ්නවලට ද විසඳුම් ලැබෙනවා. ඒ නිසා රටේ ආර්ථිකය ගොඩනැඟිමට අපට සහාය ලබාදෙන්න කියා දේශපාලන පක්ෂ ඇතුළු සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටියා. නමුත් අප බලාපොරොත්තු වූ ප්‍රතිචාරය ලැබී නැහැ. අද මේ රටේ විසඳාගත යුතු ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබෙනවා. කුමන පක්ෂයකට අයත් වුවත් එම ප්‍රශ්න විසදා ගැනීමට අපත් සමඟ එක්වන ලෙස මම එම සියලු දෙනාගෙන් නැවත ඉල්ලා සිටිනවා. පළමු කරුණ තමයි රට තුළ ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීම. දෙවැනි කරුණ වන්නේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීම. රටක් ඉදිරියට ගෙන යාමට නම් රටේ හොඳ ආර්ථිකයක් තිබිය යුතුයි. ඒ වගේම එක්සත් ජනතාවක් සිටිය යුතුයි. එසේම ශ්‍රී ලාංකීය අනන්‍යතාව තහවුරු විය යුතුයි. සිංහල, දෙමළ, මුස්ලිම් කුමන ජාතියකට අයත් වුවත් සියලු ජනතාව ශ්‍රි ලාංකිකයන්. අද අපේ රටේ බහුහතරයක් සිටින්නේ සිංහල ජනතාව. සිංහල අනන්‍යතාව, ආගම සහ සංස්කෘතිය ආරක්ෂා කරගනිමින් ඉදිරියට යාමට අප කටයුතු කරනවා. එහිදී කිසිවිටකත් අනෙකුත් ජාතීන්ට හෝ ආගමිකයන්ට මදිපුංචිකම් සිදු නොවිය යුතුයි. රටේ සියලු ජන කොටස්වල අයිතිවාසිකම් ආරක්ෂා විය යුතුයි. සියලුදෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස ඉදිරියට ගියහොත් පමණයි ශක්තිමත් රටක් ගොඩනැඟිය හැකි වන්නේ.
සිංහල ජනතාවට බලපෑ ප්‍රශ්න ගණනාවකට අප මේ වන විට විසදුම් ලබාදී තිබෙන අතර අනෙකුත් ප්‍රශ්නවලටත් විසඳුම් ලබාදෙමින් සිටිනවා. ඒ වගේම අනෙකුත් ජන කොටස්වල ප්‍රශ්න කෙරෙහිත් රජය අවධානය යොමු කර තිබෙනවා. යුද්ධය අවසන් වුවත් ජිනිවාහි මානව හිමිකම් කොමිසම හමුවේ තවමත් නොවිසඳුන ප්‍රශ්න තිබෙනවා. එම ප්‍රශ්න විසඳිමට අවශ්‍ය පියවර රජයක් ලෙස අප ගෙන තිබෙනවා. ඇතැම් ජනතාවගේ ගම්මාන අහිමි වී තිබෙනවා. එම නිසා මම තීරණය කර තිබෙනවා 1985 සිතියම අනුව ක්‍රියාත්මක වීමට. එම සිතියම අනුව තිබෙන ගම්මාන දැන් වනාන්තරවලට යට වී තිබෙනවා නම් ඒ ගම්මානවල ජනතාවට පදිංචි වීමට ඉඩ ලබා දීමට. ඒ වගේම එහි අයිතිය එම ජනතාවට ලබාදිය යුතුයි. ඒ අනුව උතුර හා නැගෙනහිර පළාත්වල ද්‍රවිඩ ජනතාව, මුස්ලිම් ජනතාව මෙන්ම සිංහල ජනතාවත් දැනටමත් එම අයිතිවාසිකම් ලබාගෙන තිබෙනවා. ඒ අතරින් ඇතැම් පිරිස්වලට තවම එම භූමිවලට යාමට අවස්ථාව ලැබී නැහැ. එම ගැටළු පිළිබඳ අප වෙනම අවධානය යොමු කරමින් කටයුතු කරනවා. ඒ වගේම අතුරුදන් වූවන්ගේ ගැටළුව, වන්දි ලබාදීම් ඇතුළු මෙතෙක් විසඳුම් නොලැබුණු සියළු ප්‍රශ්න කෙරෙහි අප අවධානය යොමු කරමින් කටයුතු කරනවා.
එසේම උතුරේ සහ නැගෙනහිර ආර්ථිකය දියුණු කළ යුතුයි. සියළු ප්‍රශ්න විසඳුවත් ශක්තිමත් ආර්ථිකයක් නැත්නම් නැවත එම ප්‍රශ්න මතු වෙනවා. ඒ වගේම කඳුකරයේ සිටින ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න කෙරෙහිත් අප විශේෂ අවධානයකින් කටයුතු කරන බව කිව යුතුයි. ඔවුන්ට ඉඩම් ලබා දීම, අධ්‍යාපනය දියුණු කිරීම ඇතුළු අයිතිවාසිකම් ලබාදීම පිළිබඳව අප විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. එමෙන්ම මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න විසඳීම පිළිබඳව අප අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡා කරමින් අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටිනවා. මුස්ලිම් ජනතාව භූමදානය කිරීම පිළිබඳ ගැටළුවක් පසුගිය සමයේ මතුවුණා. කොවිඩ් සමයේ එම භූමදාන කටයුතු සඳහා අවස්ථාව ලැබුණේ නැහැ. ඒ පිළිබඳ පසුව අනෙකුත් රටවල් තීරණ වෙනස් කළ නමුත් ලංකාවේ එම තීරණ වෙනස් කරන්න විශාල කාලයක් ගත වුණා. ඊට හේතු සොයා බලා නැවත එසේ නොවන අන්දමින් නීත්‍යානුකූලව අප එම පියවර ගන්නවා. අවසන් කටයුතු සිදු කරන්නේ කෙසේද කියා තම තමන්ගේ ආගම් අනුව තීරණය කළ යුතුයි. ඉදිරි පෙබරවාරි, මාර්තු වන විට ඒ පිළිබඳ ප්‍රකාශයක් සිදු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු පනවා තිබු ඇතැම් සීමා ඉවත් කිරීම අතපසු වී තිබෙනවා. ඒ පිළිබඳ අප විශේෂ අවධානයකින් කටයුතු කරනවා. පොත්පත් ගෙන්වීම, ඊජිප්තුවෙන් කථිකාචාර්යවරුන් ගෙන්වීම වැනි කරණු කිහිපයක් තිබෙනවා. මුස්ලිම් ආගමික අධ්‍යාපනයට එය වැදගත් නිසා එම ගැටළුත් විසඳාගත යුතුයි. මද්‍රසා පාසල් පාලනය කිරීමට නීතියෙන් කෙටුම්පතක් සකස් කිරීමේ කටයුතු සිදු කෙරුණා. නමුත් එය ඉදිරිපත් කර තිබුණේ නැහැ. එය ඉතා වැදගත්. මුස්ලිම් ජනතාවට බලපාන එවැනි කාරණා රැසක් තිබෙනවා. ඒ වගේම ඇතැම් අයට විරුද්ධව පැනවූ නඩු තිබුණා. උසාවියෙන් එම නඩු විභාගයට නොගෙන ඉවත් කර තිබුණා. ත්‍රස්තවාදයට සම්බන්ධයක් නැත්නම්, රටේ විප්ලවයක් ඇති කරන්න කියලා කියන්නේ නැත්නම් අදහස් ප්‍රකාශ කිරීම්වලට ඉඩ ලැබිය යුතුයි. නීතියෙන් එම ආරක්ෂාව සම්පූර්ණයෙන් සැලසිය යුතුයි. මේ කරුණු කෙරෙහි අපගේ අවධානය යොමු කර තිබෙනවා. ඒ පිළිබඳ අදාළ අමාත්‍යාංශවලින් සහ නිලධාරීන්ගෙන් මම වාර්තා ඉල්ලා තිබෙනවා. ඒවා ලැබූණු පසු ලබන පෙබරවාරි වන විට සම්පූර්ණ ප්‍රකාශයක් කිරිමට මම බලාපොරොත්තු වෙනවා. ඊට පෙර ආගමික නායකයන් සහ දේශපාලන නායකයන් හමු වී මෙම සියළු කරුණු ගැන සාකච්ඡා කිරීමට මම බලාපොරොත්තු වෙනවා ” යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා, මුස්ලිම් ආගමික නායකයන්ද, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ. එම්. මුසම්මිල්, ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රෝහිත අමරදාස යන මහත්වරුන් ප්‍රමුඛ පළාතේ අධ්‍යාපන නිලධාරීන්, ගුරුවරුන්, දෙමාපියන්, සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.