පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බවත් එම වින්දිතයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කරන බවට සහතික වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමඟ අද (06) මිගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.
අද පෙරවරුවේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට පැමිණි ජනාධිපතිවරයා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිවීම පිණිස එම භූමියේ ස්ථාපිත කර ඇති ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීය.
ජනාධිපතිවරයාගේ සංචාරය සනිටුහන් කරමින් සිහිවටන තිළිණයක් ද පිළිගැන්විණි.
අනතුරුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සාකච්ඡාවකට එක් වූ අතර පාස්කු ප්‍රහාරයේ වින්දතයින් ලෙස ඔවුන්ගේ ගැටලු සෘජුවම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබිණි.
මෙරට මෑත කාලයේ විශාලතම ඛේදවාචකය සිදු වූයේ 2019 අප්‍රේල් 21 වනදා බවත් එම ඛේදවාචකය කාලයේ වැලි තලාවට යටපත් වුවත් එය මකා දැමීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.
පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාව සිය දේශපාලන තීන්දුව ගැනීමට බලපෑ සාධක අතුරෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ සාධාරණය හා යුක්තිය ඉටු වීමේ අපේක්ෂාවද ඇතුළත් බව තමා විශ්වාස කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
මේ රටේ පුරවැසියන්ගේ අරමුණ, අපේක්ෂාව, බලාපොරොත්තුව හා තම අරමුණ, අපේක්ෂාව, බලාපොරොත්තුව එකක් බව පැවසූ ජනාධිපතිවරයා පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව මෙරට ජනතාව අපේක්ෂා කරන යුක්තිය හා සාධාරණය ඉටු කිරීම තම අපේක්ෂාව බවත්, ඒ පිළිබඳ කටයුතු මේවන විටත් ආරම්භ කර ඇති බවත් ප්‍රකාශ කළේය.
එවකට පැවති රාජ්‍ය යාන්ත්‍රණය ද මෙම ප්‍රහාරයට සම්බන්ධ වූවාදැයි යන සැකයද සමාජයේ පවතින බවත් එවන් තත්ත්වයක් පවතින්නේ නම් අපේ රට සෑම විටම අනාරක්ෂිත මෙන්ම අතිශය භයානක තත්ත්වයක් තිබෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව දෙවනුව මෙහිදී සිදු වූයේ කුමක්ද යන්න හෙළිදරවු කර ගැනීම වඩා වැදගත් බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.මෙහිදී අදහස් දැක්වූ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පැවසුවේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවට සාධාරණයක් ඉටුකර ගැනීමට ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ ද විසඳුමක් නොලැබුණු බවයි. විපතට පත් වූවන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට රජයයන් කටයුතු කළත් මෙම ප්‍රහාරයට හේතුව කුමක්ද යන ප්රශ්නය ජනතාව තුළ තිබෙන බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.කටුවාපිටිය දේවස්ථාන භාර මීසම් පාලක මංජුල නිරෝෂන් පියතුමා ඇතුළු පාස්කු ප්‍රහාරය වින්ඳිතයන්, බැතිමතුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.