මගී ප්‍රවාහන බස් රථ ඇතුළු අනෙකුත් වාහන පරීක්ෂා කිරීමේ දීප ව්‍යාප්ත රථවාහන මෙහෙයුමක් අද (දෙසැ. 23) සිට උත්සව සමය අවසන් වන තුරු ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳ සඳහන් කළේ ය.
පොලිසිය සඳහන් කළේ, පසුගිය දිනවල මගී ප්‍රවාහන බස් රථ ඇතුළු අනෙකුත් වාහනවලින් සිදුවූ රිය අනතුරු සැලකිල්ලට ගනිමින් දිගින් දිගට ම එවැනි අනතුරු සිදුවීම අවම කර ගැනීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව ය.
මෙහිදී ප්‍රධාන වශයෙන් පොදු මගී ප්‍රවාහන බස් රථ පරීක්ෂා කිරීම සිදු කෙරෙන අතර එම බස් රථවල රියැදුරන්, මත්පැන් පානය කර හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය සිදු කරන්නේ ද යන්න විශේෂයෙන් සොයා බැලීම සිදු කරන බව පොලිසිය පැවසීය.
පොලිසිය ප්‍රකාශ කළේ, බස් රථ අපරික්ෂාකාරී හා අන්තරාදායක ලෙස ධාවනය, අධික වේගයෙන් රිය ධාවනය, මාර්ග නීති උල්ලංඝණය කරමින් ධාවනය, ධාවනයට නුසුදුසු තත්ත්වයේ ටයර් හෝ වෙනත් දෝෂ සහිත ධාවනය කිරීම සම්බන්ධයෙන් ද පරීක්ෂා කර බලා එම රියැදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ය.
එමෙන් ම, අනෙකුත් රථවාහන සම්බන්ධයෙන් ද පරීක්ෂා කිරීම් සිදු කරන අතර ඒ සඳහා දිවයින පුරා පැය 24ම ආවරණය වන පරිදි රථවාහන නිලධාරීන් රාජකාරියේ යොදවා තිබේ.
පොලිසිය සඳහන් කළේ, මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක වන කාලසීමාව තුළ අපරික්ෂාකාරී හා නොසැලකිලිමත් ලෙස හෝ මාර්ග නීති උල්ලංඝණය කරමින් ධාවනයේ යෙදෙන බස් රථ ඇතුළු රථ වාහන සම්බන්ධයෙන් 119 හා 1997 යන කෙටි දුරකතන අංකවලට තොරතුරු ලබා දීමට මහ ජනතාවට හැකි බව ය.