කාර්යාල පරිශ්‍රය තුළ මුඛ ආවරණ පළඳින්නැයි දැනුම් දෙමින්, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරිය නිකුත් කළ ලිපිය, අවලංගු කර තිබෙනවා.
ඒ, අදාළ ලිපිය සම්බන්ධයෙන් සමාජජාලා තුළ පැතිර යන වැරදි අර්ථකථනය නිවැරදි කිරීම යන ශීර්ෂය යටතේ නිකුත් කළ තවත් ලිපියකිනි.
කෙසේ වෙතත්වි කොවිඩ් ඇතුළු මේ දිනවල රට තුළ පැතිර යන රෝග සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා සිටින්නේ.
මුඛ ආවරණ පළඳින්නැයි දැනුම් දෙමින්, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරිය නිකුත් කළ ලිපියට ප්‍රතිචාර දක්වමින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ, එවැනි පොදු උපදෙස් මාලාවක් නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
එම නිසා අදාළ උපදෙස් නැවත සළකා බලන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා කළ දැනුම්දීමකට අනූව, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරිය. පෙර නිකුත් කළ ලිපිය, අවලංගු කර තිබෙනවා.
COVID19 ගෝලීය වසංගතය, 2023 වසරේ මැද භාගයේදී නිමා වීමෙන් පසුව, ශ්වසන රෝග ආවේක්ෂණය සහ පාලන ක්‍රියාවලිය යටතේ,කොරෝනා වසංගතය ද, අනෙකුත් බෝවන රෝග ගණයට ඇතුළත් කර ඇතැයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, එම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
ඒ හේතුවෙන් වැසි කාලයේදී ඉන්ෆ්ලුවන්සා වැනි ශ්වසන රෝග වැඩිවීමත් සමඟ COVID19 රෝගය ද ඇතිවීමේ හැකියාවක් තිබෙන බව ඔහු පෙන්වා දී තිබේ.
ඒ අනූව ශ්වසන රෝග කළමනාකරණය සහ වළක්වා ගැනීම පොදු ක්‍රමවේදයන් අනුව කටයුතු කළ යුතු බව, අනිල් ජාසිංහ මහතා සදහන් කර සිටියා.
ඔහු පවසන්නේ, පවතින තත්වය මත COVID19 වළක්වා ගැනීම, විශේෂ අවදානම් තත්ත්වයක් ලෙස සැළකීමේ අවශ්‍යතාවක් මෙතෙක් උද්ගතව නොමැති බවයි.
තවද, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේ, මේ වන විට කොවිඩ් රෝගය සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කරගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
“අපි හැමෝම දන්න දෙයක් තමා පහුගිය කාලයේ බැලුවහම ජුනි, ජුලි මාසවල තමා ඩෙංගු රෝගය වැඩිවෙන්නේ. මේ මදුරුවාම තමා විකුන්ගුන්යා රෝගයත් පතුරවන්නේ. මේ රෝග දෙකම වැඩිවීමේ අවධානමක් තියෙනවා. දැනට ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩිවීමක් තියෙනවා. එමඟින් සමහර වයස් කාණ්ඩවල අයට බරපතළ තත්ත්වයන් ඇති වෙලා සමහර විට මරණය පවා ඇති විය හැකියි.”