බේරේ වැවට කොළඹ නගරයේ මළ අපද්‍රව්‍ය, අපජල සහ පොලිතින්, ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය විශාල වශයෙන් බැහැර කිරීම හේතුවෙන් දැඩි දුගඳක් පැතිර ගොස් තිබේ.
මෙම තත්ත්වය හේතුවෙන් වැව ආසන්නයේ හෝටල් කිහිපයක් වසා දැමීමටත්, පදිංචිකරුවන්ට තම නිවාසවල ජීවත්වීමට දැඩි අර්බුදකාරී තත්වයක් පැමිණ තිබෙන බව වැව ආසන්න පදිංචිකරුවෝ කියා සිටිති.
බස්නාහිර පළාත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති චතුර කහඳවආරච්චි සඳහන් කළේ, බේරේ වැව පිරිසුදු කිරීමට කෙටි, මධ්‍ය සහ දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවයි.
කෙටි කාලීන වැඩපිළිවෙළ යටතේ මළ අපද්‍රව්‍ය වැවට ගලා ඒම වැළැක්වීමට පියවර ගෙන ඇති අතර, වැවේ පාවෙන අපද්‍රව්‍ය ඉවත් කිරීමට ඉලෙක්ට්‍රොනික බෝට්ටු යොදාගෙන ඇති බවත් එක් බෝට්ටුවකින් වරකට කිලෝග්‍රෑම් 500ක් පමණ අපද්‍රව්‍ය එකතු කර ගතහැකි බවත් ඔහු පැවසුවේය.
ඇතැම් නල පද්ධති වසර 100ක් පමණ පැරණි බැවින් එහි අසමතුලිතතාව නිසා මලාපවහන බේරේ වැවට ගලා යන බවත්, ඒවා වැල්ලවත්තෙන් මුහුදට නගර සභා මගින් බැහැර කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු පැවසීය.
අනාගතයේදී, බේරේ වැව ආශ්‍රිතව කි.මී. ලක්ෂයක මලාපවහන පිරිසිදු කිරීමේ පද්ධතියක් ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති අතර, එය අවසන් කිරීමට වසර පහක කාලයක් ගත වනු ඇතැයිද සභාපතිවරයා කියා සිටියේය.