කොළඹ ජාතික රෝහලේ පමණක් හදවත් සැත්කම් පෝලිමේ පන්දහසක් 5000ක්!
ශල්‍යකර්ම දිනය ලැබෙන්නට වසර හතරක්!
කොළඹ ජාතික රෝහලේ හදවත් සැත්කම් පෝලිමේ රෝගීන් පන්දහසකට (5000) ආසන්න ප්‍රමාණයක් සිටින බව වාර්තා වනවා.
මෙම රෝගීන්ගේ ශල්‍යකර්ම සඳහා බලාපොරොත්තු වන දිනය වසර හතරක් දක්වා දීර්ඝ කාලයක් ගතවීම නිසා බරපතල තත්ත්වයක් හටගෙන ඇති බවයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේ.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඒ මහතා කොළඹ ජාතික රෝහල මගින් ලබා ගන්නා ලද දත්ත අනුවයි.
හදිසි හදවත් සැත්කම් බලාපොරොත්තුවෙන් අඩු ආදායම්ලාභී පවුල්වල රෝගීන් විශාල ප්‍රමාණයක් මේ අන්දමට පොරොත්තු ලේඛනවල රැඳී සිටින අතර ඔවුන්ට ඉතා විශාල මුදලක් ගෙවා පෞද්ගලික අංශයෙන් ශල්‍යකර්ම සිදු කර ගැනීමට නොහැකි වි තිබෙනවා.
රාජ්‍ය අංශයෙන් මෙම ශල්‍යකර්ම සිදු කිරීමට බලාපොරොත්තු වන දිනය පැමිණෙන විට රෝගීන් මිය යාමේ සම්භාවිතාව ඉතා ඉහළ අගයක් විය හැකි බව ද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කර සිටියා.
මෙවර අයවැයෙන් හෝ ජනාධිපති අරමුදලෙන් හෝ මෙම රෝගීන්ට විශේෂ ප්‍රතිලාභ වෙන් කිරීමට අසමත්ව ඇති බවත් පුද්ගලික අංශය රෝහලක හදවත් සැත්කමක් සඳහා අවම වශයෙන් රුපියල් ලක්ෂ විස්සකට ආසන්න මුදලක් වැය වන බැවින් රජය බලයට පත් වූ වහාම ජනාධිපති අරමුදලෙන් මෙම විශේෂ ශල්‍යකර්ම අවශ්‍ය කරන රෝගීන්ට ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන දිරිමත් කිරීම සඳහා පොරොන්දු වූ දැන් හෝ කටයුතු කළ යුතු බව ද ඔහු සඳහන් කර සිටියා.
කොළඹ ජාතික රෝහලට අමතරව මහනුවර, ගාල්ල කරාපිටිය ජාතික රෝහල, මඩකලපුව, අනුරාධපුර ඇතුළු දිවයිනේ හදවත් සැත්කම් සිදු කරන රෝහල් රැසක හදවත් සැත්කම් පෝලිමේ තවත් දහස් ගණනක් රෝගීන් සිටින බව ඒ මහතා ප්‍රකාශ කර සීටියා.













