ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපන පද්ධතිය නවීකරණය කිරීමේ අරමුණින් හඳුන්වා දුන් නව විෂය මාලා ප්‍රතිසංස්කරණ මේ වන විට දැඩි මතභේදයකට ලක්ව තිබේ. මෙම ප්‍රතිසංස්කරණ තුළ පවතින බරපතල අඩුපාඩු හේතුවෙන් මෙරට දූදරුවන්ගේ අධ්‍යාපන අයිතිය මෙන්ම සදාචාරාත්මක ආරක්ෂාව ද තර්ජනයට ලක්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළ විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි අධ්‍යයන මොඩියුලයන්ට අසභ්‍ය වෙබ් අඩවිවල ලිපින (URL) ඇතුළත් වී ඇති බවයි. මෙය හුදු අත්වැරදීමක් නොව ළමා ප්‍රඥප්තියේ වගන්ති අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බවත්, වගකීම් විරහිත ලෙස දරුවන්ගේ ප්‍රඥාව අවභාවිත කිරීමට ඉඩ දිය නොහැකි බවත් ඔහු පැවසීය.
විෂය මාලාවන් සැකසීමේදී රජයේ නිල වෙබ් අඩවි වෙනුවට පෞද්ගලික වෙබ් අඩවි තෝරා ගැනීම පිටුපස පවතින අදිසි හස්තයන් පිළිබඳව ද මෙහිදී ප්‍රශ්න කෙරුණු අතර මෙම වෙබ් අඩවි තෝරා ගත් පදනම, නිසි ප්‍රසම්පාදන ක්‍රමවේදයක් අනුගමනය කළේ ද? පෞද්ගලික වෙබ් අඩවි ප්‍රවර්ධනය කිරීමෙන් ලැබෙන මූල්‍යමය වාසිය යන්නේ කාටද?
යන කරුණු සම්බන්ධයෙන් වහාම කරුණු පැහැදිලි කරන ලෙසත්, අදාළ ප්‍රතිසංස්කරණ වාර්තාව වහාම සභාගත කරන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.
ඩිජිටල් අධ්‍යාපනයක් ගැන කතා කළ ද රටේ පවතින සැබෑ තත්ත්වය ඊට වඩා වෙනස් බව විපක්ෂ නායකවරයාගේ අදහසයි. විශේෂයෙන්ම ග්‍රාමීය පාසල්වල විදුලිය, අන්තර්ජාලය සහ පරිගණක පහසුකම් නොමැති වීම මෙම වැඩපිළිවෙළේ අසාර්ථකත්වයට ප්‍රධාන හේතුවක් වී තිබේ. එමෙන්ම, ගුරුවරුන්ට නිසි පුහුණුවක් ලබා නොදී මෙවැනි සංකීර්ණ වෙනස්කම් සිදු කිරීම ප්‍රායෝගික නොවන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














