ජාතික සහ පළාත් පාසල්වල විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය විධිමත් කිරීම සහ පාසල් පද්ධතියේ පවතින මානව සම්පත් ඌනතාවය මඟහරවා ගැනීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු වී තිබේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ පත් කර ඇති අනුකාරක සභාවේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මෙනවියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ මෙම අනුකාරක සභාවේදී සියලුම අධ්‍යාපන සේවාවන්හි නියුතු නිලධාරීන් වසර හයක සේවා කාලයකින් පසුව අනිවාර්ය ස්ථාන මාරුවීම්වලට යටත් කිරීමේ යෝජනාව කෙරෙහි අවධානය යොමු විය. එමෙන්ම පළමු ශ්‍රේණියේ විදුහල්පති තනතුර දරන සියලුම නිලධාරීන් එම විදුහල්පති තනතුරේ රාජකාරි පමණක් දැරීම සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂයෙන් සාකච්ඡා වී තිබේ.
පාසල් පද්ධතියේ පවතින ගුරු සහ විදුහල්පති පුරප්පාඩු සඳහා ස්ථිර විසඳුමක් ලෙස අධ්‍යාපනයට අදාළ වෘත්තීය සේවාවන් පහේම නිලධාරීන්ගේ සුදුසුකම් සහ දැනට ස්ථානගත කර ඇති ආකාරය දැක්වෙන නව ඩිජිටල් දත්ත ගබඩාවක් සකස් කිරීමට ද මෙහිදී යෝජනා විය. මෙම පද්ධතිය හරහා ඉදිරි වසර පහ සඳහා පාසල්වල ඇතිවිය හැකි පුරප්පාඩු කලින් හඳුනාගැනීමේ හැකියාව පවතින බව ද කාරක සභාව පෙන්වා දෙයි.
මෙම යෝජනා සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්ථාවරය සහ අදහස් ඉදිරි මාස දෙක ඇතුළත කාරක සභාව වෙත යොමු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දී ඇති අතර එම වාර්තාව ලැබුණු පසු විදුහල්පති ස්ථාන මාරු සහ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ අවසන් නිර්දේශ සකස් කරන බව අනුකාරක සභාවේ සභාපතිනිය වැඩිදුරටත් සඳහන් කළාය.














