ශ්‍රී ලංකාවේ ධාවනය වන සියලුම පෞද්ගලික බස් රථ සඳහා මෙම වසර තුළ GPS (Global Positioning System) යන්ත්‍ර සවිකිරීමට පියවර ගන්නා බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ මහතා ප්‍රකාශ කළේය. මගී ජනතාවගෙන් දිගින් දිගටම ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති අතර, විශේෂයෙන්ම පෞද්ගලික බස් රථ පර්යන්තවලින් පිටත්වීමෙන් පසු මගීන් නංවා ගැනීම සඳහා ඉතා සෙමින් ධාවනය කිරීම සහ ගමනාන්තයට ළඟාවීමේදී කාලය මදි වීම නිසා ඉතා වේගයෙන් හා නොසැලකිලිමත් ලෙස ධාවනය කිරීම හේතුවෙන් මගීන් දැඩි පීඩාවකට පත්ව සිටින බව ඔහු පෙන්වා දෙයි.
මෙම වැඩපිළිවෙළ යටතේ බස්නාහිර පළාතේ ධාවනය වන පෞද්ගලික බස් රථ සඳහා GPS යන්ත්‍ර සවිකිරීමේ කටයුතු එළඹෙන මාර්තු මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂිතය. වසර අවසන් වීමට පෙර දිවයින පුරා ධාවනය වන පෞද්ගලික බස් රථ 15,000ක් පමණ වන සමස්ත සංඛ්‍යාවම මෙම පද්ධතියට ඇතුළත් කිරීමට සැලසුම් කර තිබේ. කඩවත සිට අධිවේගී මාර්ගවල ධාවනය වන බස් රථ 101ක් සඳහා දැනටමත් මෙම පද්ධතිය සාර්ථකව ක්‍රියාත්මක වන අතර එම නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත මෙම තීරණය ගෙන ඇත.
බස් රථ නියමිත වේලාවට ධාවනය කරන්නේද සහ නියමිත ගමනාන්තයට නියමිත වේලාවට ළඟා වන්නේද යන්න මධ්‍යම පාලන ඒකකයක් හරහා නිරීක්ෂණය කිරීමට මෙමගින් අවස්ථාව සැලසේ. ප්‍රවාහන අමාත්‍යාංශය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ පළාත් අධිකාරීන් නවයම එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර, මේ වන විට ඊට අදාළ තොරතුරු තාක්ෂණික අංශ සහ අවශ්‍ය නීතිමය ගැසට් නිවේදන සකස් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරුන් සමඟ ද සාකච්ඡා පවත්වමින් සිටින බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම පියවර හරහා මගී ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වන වඩාත් විධිමත් පොදු ප්‍රවාහන සේවාවක් බලාපොරොත්තු විය හැකිය.














