කොළඹ ආහාර ලෝලීන්ට පාරාදීසයක්…
හනිමුන් සදහා ලොව හොඳම ගමනාන්ත 5 අතරට ගාල්ලත්…
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට විශාල ජාත්‍යන්තර පිළිගැනීමක් එක් කරමින්, “ට්‍රිප්ඇඩ්වයිසර් සංචාරකයින්ගේ තේරීම: 2026 වසරේ විශිෂ්ටතමයන් අතර විශිෂ්ටතමයා” (Tripadvisor Travelers’ Choice Awards – Best of the Best 2026) සම්මාන උළෙලේදී කොළඹ සහ ගාල්ල නගර ලොව ප්‍රමුඛතම ගමනාන්ත අතරට තේරී පත්වී තිබේ. වසරක් පුරා සංචාරකයින් විසින් ලබාදුන් ඉහළම මට්ටමේ සමාලෝචන සහ ශ්‍රේණිගත කිරීම් පදනම් කර ගනිමින් මෙම සම්මාන ප්‍රදානය කර ඇත.
ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර වන කොළඹ නගරය, 2026 වසර සඳහා ලොව හොඳම ආහාර ගමනාන්ත (Best Food Destinations) අතර 13 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය. ලන්ඩන්, ඩුබායි සහ රෝමය වැනි ලොව සුප්‍රසිද්ධ නගර සමඟ කරට කර සිටිමින් කොළඹ නගරය මෙම ස්ථානය දිනාගෙන ඇත. කොළඹ නගරයේ පවතින විවිධත්වය සහ රසවත් ආහාර සංස්කෘතිය මෙහිදී සංචාරකයින්ගේ විශේෂ ඇගයීමට ලක්ව තිබේ.
ඓතිහාසික ගාල්ල නගරය 2026 වසරේ ලොව හොඳම මධුසමය ගමනාන්ත (Best Honeymoon Destinations) අතර පස්වන ස්ථානයට තේරී පත්වී ඇත. බාලි, මුරුසිය, මාලදිවයින සහ ශාන්ත ලුසියා වැනි ආදරණීය ගමනාන්ත සමඟ ගාල්ල නගරය ද සංචාරකයින්ගේ වැඩිම ආකර්ෂණය දිනාගත් ස්ථානයක් බවට පත්වී තිබේ. පෘතුගීසි සහ ලන්දේසි යුගයට අයත් ගෘහ නිර්මාණ ශිල්පය, සුන්දර වෙරළ තීරයන් සහ ගාලු කොටුව තුළ පවතින රොමෑන්තික වටපිටාව මෙම ඇගයීමට ප්‍රධාන හේතු වී ඇත.
ට්‍රිප්ඇඩ්වයිසර් ආයතනය සඳහන් කරන පරිදි, ලොව පුරා පවතින ලැයිස්තුගත කිරීම් මිලියන අටකට අධික ප්‍රමාණයකින් මෙම ගෞරවනීය තත්ත්වය හිමිකර ගන්නේ සියයට එකකටත් වඩා අඩු ප්‍රමාණයකි. කොළඹ සහ ගාල්ල නගර මෙලෙස ජාත්‍යන්තර ඇගයීමට ලක්වීම 2026 වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රබල වර්ධනයක් ඇති කිරීමට හේතු වනු ඇත.














