විදුලි ඒකකයක් නිපදවීමට යන පිරිවැයට සරිලන පරිදි විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ ක්‍රමවේදයක් (Cost-Reflective Pricing) අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සන්නිවේදන අංශයේ ප්‍රධානි ජුලී කොසැක් මහත්මිය ප්‍රකාශ කළාය. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රධාන කැපවීමක් බවත්, මූල්‍ය තිරසරභාවය සහතික කරමින් ලංකා විදුලිබල මණ්ඩලය පාඩු නොලබන තත්ත්වයක පවත්වාගෙන යාමට මෙය අත්‍යවශ්‍ය බවත් ඇය අවධාරණය කළාය.
මේ අතර, “දිට්වා” සුළි කුණාටුවෙන් මෙරටට සිදුවූ හානිය පිළිබඳව සොයා බලා ශ්‍රී ලංකාවට ඉදිරියට යාම සඳහා අවශ්‍ය සහාය තීරණය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ දූත පිරිසක් එළැඹෙන 22 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය. මෙම මස 28 වැනිදා දක්වා මෙරට රැඳී සිටින එම දූත පිරිසට IMF ආසියා සහ ශාන්තිකර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් සහ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ ඇතුළු නිලධාරීන් පිරිසක් ඇතුළත් වේ.
සිදුව ඇති හානිය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ලබාගැනීම සඳහා පැමිණෙන මෙම කණ්ඩායම, ආපදා තත්ත්වය හේතුවෙන් අරමුදල් වැඩසටහනේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට එල්ල වී ඇති බාධා පිළිබඳව රජය සමඟ සාකච්ඡා කිරීමට නියමිතය. දිට්වා සුළි කුණාටුවෙන් පීඩා විඳි ශ්‍රී ලංකාවට හදිසි මූල්‍ය පීඩනය අවම කර ගැනීම සඳහා “කඩිනම් මූල්‍යකරණ මෙවලම” යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 206ක ණය මුදලක් ලබාදීමට විධායක කමිටුව පසුගිය දෙසැම්බර් 19 වැනිදා අනුමැතිය ලබාදුන් බව ද කොසැක් මහත්මිය සිහිපත් කළාය.
ආපදා තත්ත්වය හේතුවෙන් මෙරට සම්බන්ධයෙන් සිදුකළ පස්වැනි සමාලෝචනය අවසන් කිරීම තාවකාලිකව කල් දැමීමට අරමුදල තීරණය කළ අතර, නව රජය ද ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සිය කැපවීම පළ කර ඇති බව ද වාර්තා වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය න්‍යාය පත්‍රය තුළ සිට හැකි සෑම අයුරින්ම මෙරට සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාමට සහාය වීමට සූදානම් බව ජුලී කොසැක් මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.














