තාවකාලිකව නතර කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වහාම යළි ක්‍රියාත්මක කරන ලෙස රජයට බලකරමින් දෙමාපියන් පිරිසක් අද (19) පෙරවරුවේ සිට බත්තරමුල්ල, ඉසුරුපාය පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ නිහඬ විරෝධතාවක් ආරම්භ කර තිබේ. “06 ශ්‍රේණිය දෙමාපිය එකමුතුව” ලෙස සංවිධානය වී ඇති මෙම පිරිස පෙන්වා දෙන්නේ දරුවන්ගේ අධ්‍යාපන අනාගතය වෙනුවෙන් හඳුන්වා දීමට සැලසුම් කළ නව ප්‍රතිසංස්කරණ ප්‍රමාද කිරීම අගතිගාමී බවයි. මෙම නිහඬ විරෝධතාවයට සමගාමීව පොලොන්නරුව සහ ගාල්ල ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක ද දෙමාපියන් විරෝධතාවල නිරත වන බව වාර්තා වේ.
මේ අතර, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පවතින උණුසුම් තත්ත්වය හමුවේ විවිධ පාර්ශ්වයන් සිය අදහස් පළ කර ඇත. විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයේ ලේකම් නිමල් මුදුන්කොටුව මහතා සඳහන් කළේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ පවතින ප්‍රායෝගික ගැටලු පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිව දෙමාපියන් මෙලෙස විරෝධතාවල නිරත වන බවයි. කෙසේ වෙතත්, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියන් පෙන්වා දුන්නේ, පවතින ගැටලු නිවැරදි කර ගනිමින් සහ නව සංශෝධන එක් කරමින් මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා යුතු බවයි.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන මෙම ඉල්ලීම්වලට අමතරව, ප්‍රශස්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ඉල්ලා සමගි ජන බලවේගය විසින් සංවිධානය කළ පන්දම් විරෝධතාවක් ද ඊයේ (18) රාත්‍රියේ රුවන්වැල්ල, කන්නත්තොට ප්‍රදේශයේදී පවත්වා තිබුණි. එහිදී පිරිසකගේ බාධා කිරීම් හේතුවෙන් නොසන්සුන් තත්ත්වයක් ද හටගෙන ඇති බව වාර්තා වේ. අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට රැඳී සිටින දෙමාපියන් අවධාරණය කරන්නේ සිය ඉල්ලීම්වලට බලධාරීන්ගෙන් සාධාරණ විසඳුමක් ලැබෙන තෙක් සිය විරෝධතාව අත්නොහරින බවයි.














