ලොව පුරා සීනි සහිත පාන වර්ග සහ මධ්‍යසාර මිල ගණන් සාපේක්ෂව පහළ මට්ටමක පැවතීම හේතුවෙන් බෝ නොවන රෝග සහ මාරක අනතුරු ඉහළ යාමේ දැඩි අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවයි. ජිනීවා නුවරදී නිකුත් කළ නවතම වාර්තාවක් මගින් එම සංවිධානය අවධාරණය කරන්නේ, මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම නිෂ්පාදන සඳහා පනවන ‘සෞඛ්‍ය බදු’ (Health Taxes) ඉහළ නැංවීමට ලොව පුරා ආණ්ඩු පියවර ගත යුතු බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් මහතා පෙන්වා දෙන්නේ දුම්කොළ, සීනි සහිත පාන සහ මධ්‍යසාර සඳහා බදු ඉහළ නැංවීම මඟින් හානිකර පරිභෝජනය අවම කරගත හැකි බවයි. එසේම එමඟින් ලැබෙන අතිරේක ආදායම සෞඛ්‍ය සේවාවන් නංවාලීමට යොදාගත හැකි බවද ඔහු පවසයි. බදු ප්‍රතිපත්ති දුර්වල වීම නිසා මෙම නිෂ්පාදන ලාභදායී ලෙස වෙළඳපොළේ පැවතීම දරුවන්ගේ සහ තරුණ පරපුරේ ස්ථුලතාවය, දියවැඩියාව, පිළිකා සහ හෘද රෝග ඉහළ යාමට සෘජුවම බලපා තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවට අනුව රටවල් 116ක් පමණ සීනි සහිත පාන සඳහා බදු පනවා තිබුණද, පලතුරු යුෂ, පැණිරස කළ කිරි පාන සහ ‘ready-to-drink’ තේ හෝ කෝපි වර්ග බොහොමයක් තවමත් බදු දැලට හසු වී නොමැත. එසේම රටවල් 167ක් මධ්‍යසාර සඳහා බදු අයකළද, උද්ධමනයට සාපේක්ෂව එම බදු ඉහළ නොදැමීම නිසා 2022 වසරේ සිට මධ්‍යසාර මිල ගණන් වඩාත් දැරිය හැකි මට්ටමකට පත්ව ඇත. විශේෂයෙන්ම යුරෝපීය රටවල් ඇතුළු රටවල් 25ක වයින් (Wine) සඳහා තවමත් කිසිදු බද්දක් අය නොකිරීම බරපතල තත්ත්වයක් බව එම සංවිධානය පෙන්වා දෙයි.
මහජන සෞඛ්‍යය තහවුරු කිරීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සිය නව ‘3 by 35’ වැඩපිළිවෙළ හඳුන්වා දී ඇත. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ 2035 වසර වන විට දුම්කොළ, මධ්‍යසාර සහ සීනි සහිත පාන වර්ගවල සැබෑ මිල ඉහළ නැංවීමයි. එමඟින් මෙම හානිකර නිෂ්පාදන සාමාන්‍ය ජනතාවට පහසුවෙන් මිලදී ගත නොහැකි මට්ටමට පත්කර, බෝ නොවන රෝගවලින් තොර නිරෝගී පරපුරක් බිහිකිරීමට එම සංවිධානය අපේක්ෂා කරයි.














