ශ්‍රී ලංකාවේ රාජ්‍ය සෞඛ්‍ය පද්ධතිය තුළ ප්‍රථම වතාවට නළ දරු උපත් (In Vitro Fertilization – IVF) ප්‍රතිකාර සේවාව කොළඹ කාසල් වීදිය කාන්තා රෝහලේදී ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර තිබේ.
කාසල් වීදිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් කුමාර දන්තනාරායන මහතා සඳහන් කළේ, ඉදිරි මාස තුන ඇතුළත මෙම සේවාව මහජනතාවට විවෘත කිරීමට අපේක්ෂා කරන බවයි. පෞද්ගලික රෝහල්වල පමණක් පවතින මෙම ප්‍රතිකාර සඳහා වැය වන විශාල පිරිවැය දැරීමට නොහැකි මධ්‍යම සහ අඩු ආදායම්ලාභී පවුල්වලට මෙය මහඟු අවස්ථාවක් වනු ඇතැයි බලධාරීන් විශ්වාසය පළ කරයි.
වර්තමානයේ පෞද්ගලික අංශය හරහා නළ දරු උපත් ප්‍රතිකාරයක් ලබා ගැනීමට එක් වටයක් (Cycle) සඳහා රුපියල් මිලියන 2ත් 3ත් අතර මුදලක් වැය වන අතර, රජයේ රෝහල් පද්ධතිය හරහා මෙම පහසුකම ලබා දීම ප්‍රජනන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී ඉදිරි පියවරක් ලෙස සැලකේ.
පැලෝපීය නාල අවහිර වීම, ශුක්‍රාණු සංඛ්‍යාව අඩු වීම සහ හෝමෝන අසමතුලිතතාව වැනි විවිධ වෛද්‍ය හේතු මත දරුවන් ලැබීමට අපහසු යුවළයන්ට නවීන විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ දෙමාපියන් වීමේ සිහිනය සැබෑ කර ගැනීමට මෙමඟින් අවස්ථාව උදා වේ.














