විදේශ රැකියා ලබාදෙන බව පවසමින් මහජනතාවගෙන් මුදල් ලබාගත් බවට චෝදනා එල්ල වූ අඹුසැමි යුවළක් ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් සහ වැලිමඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය සැප්තැම්බර් 16 වැනිදා වැලිමඩ නුගතලාව ප්රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. සර්බියාව, එක්සත් අරාබි එමීර් රාජ්යය, දකුණු කොරියාව සහ රුමේනියාව යන රටවල රැකියා ලබාදෙන බව පවසමින්, රැකියා ඇණවුම් නොමැතිව මුදල් අයකරගෙන ඇති බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.
අදාළ විදේශ රැකියා නියෝජිත ආයතනයේ බලපත්රය 2025 සැප්තැම්බර් 30 වැනිදා කල් ඉකුත් වී තිබියදීත්, එම නමින්ම වැලිමඩ නුගතලාව ප්රදේශයේ ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
2025 වසරේ සිට 2026 සැප්තැම්බර් 9 වැනිදා දක්වා කාලය තුළ මෙම සැකකරුවන්ට එරෙහිව පැමිණිලි 12ක් ලැබී ඇති අතර, එම පැමිණිලිවලට අදාළව වංචා කළ බව කියන මුදල රුපියල් ලක්ෂ 82කට අධිකය.
අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ වැලිමඩ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝබර් 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන් ඔක්තෝබර් 26 වැනිදා මහර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියමිතය.













