ඇමෙරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීමේ රජයේ වැඩපිළිවෙළට සහාය වෙමින් රුපියල් මිලියන 5.2ක (ඇමෙරිකානු ඩොලර් 17,000ක) මුදලක් පරිත්‍යාග කර තිබේ.
මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් විවිධ ශ්‍රී ලාංකික සංවිධාන සහ බැතිමතුන් විසින් එකතු කරන ලද මෙම අරමුදල, ‘නැවත ගොඩනගමු ශ්‍රී ලංකා’ (Rebuild Sri Lanka) අරමුදල වෙත බැර කිරීමට නියමිතය.
එක්සත් ජනපදයේ ප්‍රධාන අධිකරණ සංඝනායක සහ මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති පූජ්‍ය කටුගස්තොට උපරතන නායක හිමියන් විසින් පසුගිය 23 වනදා ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා වෙත නිල වශයෙන් මෙම චෙක්පත භාර දෙනු ලැබීය.
මෙහිදී අදහස් දැක්වූ පූජ්‍ය කටුගස්තොට උපරතන හිමියන් සඳහන් කළේ මව්බිමේ ඇති වූ ආපදා තත්ත්වයේදී විදේශගත ශ්‍රී ලාංකිකයන් දැක්වූ මෙම වගකීම් සහගත දායකත්වය අගය කරන බවයි.
ශ්‍රී ලංකා තානාපතිවරයා මෙම මානුෂීය මෙහෙවර වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළ අතර උපරතන හිමියන් ඇතුළු ප්‍රජාව එක්ව සිදු කළ මෙම කැපවීම රජය ඉහළින්ම අගය කරන බව ද පැවසීය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය තානාපති මධුක වික්‍රමආරච්චි මහතා ඇතුළු මේරිලන්ඩ් ප්‍රාන්තයේ ශ්‍රී ලාංකික සංවිධානවල නියෝජිත පිරිසක් ද සහභාගී වී සිටියහ.














