අඟුණකොළපැළැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සිය සැමියා බැලීමට පැමිණි කාන්තාවක, සිය තිසරපටය තුළ සඟවාගෙන පැමිණි ජීව උණ්ඩයක් සමඟ පෙරේදා (24) සවස බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අම්බලන්තොට බෙලිගහගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව, හෙරොයින් සන්තකයේ තබාගැනීමේ වරදට සිරගතව සිටින සැමියා බැලීමට පැමිණි අවස්ථාවේදී සිදුකළ විශේෂ පරීක්ෂාවකදී මෙම උණ්ඩය හමු වී තිබේ.
බන්ධනාගාර නියාමකවරියක විසින් සොයාගත් මෙම උණ්ඩය MPMG වර්ගයේ ගිනි අවියකට භාවිත කරන එකක් බවට හඳුනාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය සහ නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන සඳහා අඟුණකොළපැළැස්ස පොලිසිය වෙත භාරදී තිබේ.
තහනම් ද්‍රව්‍ය බන්ධනාගාර තුළට රැගෙන යාම වැළැක්වීම සඳහා ආරක්ෂක විධිවිධාන දැඩි කර ඇති පසුබිමක, මෙලෙස යුද හමුදා අවි සඳහා භාවිත කරන උණ්ඩයක් රැගෙන ඒම පිටුපස පවතින අරමුණ පිළිබඳව පොලිසිය සහ බන්ධනාගාර බුද්ධි අංශ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.














