දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ ප්‍රදේශ යළි ගොඩනැඟීම සඳහා අරමුදල් රැස් කිරීමට සැලසුම් කර තිබූ ජාත්‍යන්තර ආධාරකරුවන්ගේ සමුළුව පවත්වන දිනයක් පිළිබඳව මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කරයි.
මෙම ප්‍රමාදය හේතුවෙන් විපතට පත් ප්‍රජාවන්ගේ සහන සේවා සහ රටේ සමස්ත ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ අඩාල වීමේ අවදානමක් මතුව තිබේ.
රජය මීට පෙර ප්‍රකාශ කර තිබුණේ ජනවාරි මාසයේදී මෙම සමුළුව පවත්වා 2026 වසර සඳහා රුපියල් බිලියන 500ක අරමුදල් සම්පාදනය කර ගැනීමට අපේක්ෂා කරන බවයි.
ඉන් බිලියන 250ක් යටිතල පහසුකම් සඳහා ද, බිලියන 100ක් නිවාස ප්‍රතිසංස්කරණය සඳහා ද සහ බිලියන 200ක් කෘෂිකාර්මික හා ව්‍යාපාරික පුනර්ජීවනය සඳහා ද යෙදවීමට සැලසුම් කර තිබුණි.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ හදිසි ඒකකය සඳහන් කරන්නේ ජාත්‍යන්තර සමුළුවක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නිල සන්නිවේදනයක් හෝ ඉල්ලීමක් තමන් වෙත ලැබී නොමැති බවයි. ශ්‍රී ලංකාව මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) පස්වන ඇගයීම් වාර්තාව අපේක්ෂාවෙන් පසුවන අතර, එම වාර්තාව ජනවාරි මස අවසානයේදී ලැබීමට නියමිතය.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය ලබන මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව එම අරමුදලේ ආසියා ශාන්තිකර කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවති සාකච්ඡාවකදී තහවුරු කර තිබේ.
දැනට පිහිටුවා ඇති ‘Rebuilding Sri Lanka’ අරමුදල වෙත දේශීය හා විදේශීය පරිත්‍යාගශීලීන්ගෙන් රුපියල් බිලියන 8.5ක් ලැබී ඇතත්, මහා පරිමාණ ප්‍රතිසංස්කරණ සඳහා ජාත්‍යන්තර සහය අත්‍යවශ්‍ය වී තිබේ.














