බුලත්සිංහල, පරගොඩ ගම්මානයේ පදිංචි 65 හැවිරිදි ගීතා කාන්ති මහත්මිය මෝල්කාව පාලම අසල වසර 20ක පමණ සිට ලොතරැයි අලෙවි කරමින් සිය ජීවිකාව සරිකර ගනී. දිනකට අලෙවි නොවී ඉතිරි වන ලොතරැයි පත් හේතුවෙන් ඇය පත්වන මූල්‍ය අර්බුදයට පිළියමක් ලෙස, ප්‍රදේශයේ පදිංචි ලලිත් පින්නගොඩ නම් තරුණයා පසුගිය වසර පහක කාලය පුරා දිනපතා ඉතිරි වන ලොතරැයි පත් සියල්ල මිලදී ගත්තේ ඇයට උපකාර කිරීමේ අරමුණින්ය. පසුගියදා දිනුම් ඇද අවසන් වූ පසුත් අලෙවි නොවූ ලොතරැයි පත් අතර රුපියල් ලක්ෂ දෙකක ජයග්‍රාහී ප්‍රවේශ පත්‍රයක් ඇති බව දැනගත් ගීතා මහත්මිය, එය සඟවා නොගෙන පසුදින උදෑසන එම ලොතරැයි පත් මිලදී ගැනීමට පැමිණි ලලිත් වෙත සත්‍යය හෙළි කරමින් දිනුම් පත භාර දී තිබේ.
අවංකකම මුදලට වඩා වටිනා බව පසක් කරමින් ඇය සිදු කළ මෙම කැපකිරීම අගය කළ ලලිත් පින්නගොඩ මහතා, එම ලොතරැයි දිනුමෙන් රුපියල් 50,000ක මුදලක් ගීතා මහත්මිය වෙත පරිත්‍යාග කර ඇත්තේ ඇයගේ මානුෂීය ගුණයට උපහාරයක් වශයෙනි. මුදල් පසුපස හඹායන සමාජයක, අලාභය විඳදරා ගනිමින් ඇයට අත්වැලක් වූ තරුණයා සහ දිනුම හමුවේ අවංක වූ වෙළෙන්දිය අතර වූ මෙම අසිරිමත් ගනුදෙනුව වර්තමාන සමාජයට ආදර්ශයක් සපයන බව ප්‍රදේශවාසීහු පවසති.














