විවාහයට පෙර ලිංගික සබඳතා පැවැත්වීම සහ මත්පැන් පානය කිරීම යන චෝදනා මත ඉන්දුනීසියාවේ අචේ ප්‍රදේශයේදී පෙම් යුවළකට ප්‍රසිද්ධියේ කස පහර 140 බැගින් ලබා දී තිබේ.
මෙය පසුගිය වසර 25ක කාලය තුළ එම කලාපයේ ලබා දුන් දරුණුතම දඬුවම්වලින් එකක් ලෙස සැලකෙන අතර, වේවැල් කසයකින් සිදු කළ මෙම ප්‍රහාරය හමුවේ අදාළ කාන්තාව සිහිසුන්ව ඇද වැටීම නිසා රෝහල්ගත කිරීමට ද සිදුව ඇත.
විවාහයට පෙර සබඳතා සඳහා පහර 100ක් සහ මත්පැන් පානය සඳහා පහර 40ක් වශයෙන් මෙම දඬුවම ක්‍රියාත්මක කර තිබේ.
ෂරියා නීතිය ක්‍රියාත්මක වන ඉන්දුනීසියාවේ එකම ප්‍රදේශය වන අචේහි එදිනම තවත් පුද්ගලයන් හය දෙනෙකුට දඬුවම් පමුණුවා ඇති අතර, ඒ අතර ෂරියා පොලිස් නිලධාරියෙකු සහ ඔහුගේ සහකාරිය ද සිටීම විශේෂත්වයකි. ඔවුන් දෙදෙනාට පෞද්ගලික ස්ථානයක සමීපව සිටීමේ චෝදනාව මත කස පහර 23 බැගින් ලබා දී ඇත.
සූදුව, සමලිංගික සබඳතා සහ යාඥාවන් මඟ හැරීම වැනි වැරදි සඳහා ද මෙම ප්‍රදේශයේ මෙලෙස ප්‍රසිද්ධියේ කස පහර දීමේ දඬුවම් පමුණුවනු ලබයි.














