සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අජන්ත නිරෝෂන් පාදුක්ක මහතා වෙත රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබේ. පෙබරවාරි 01 වැනිදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී, අමාත්‍යවරයා අසාධු ලේඛනගත ඖෂධ සමාගමක හිමිකරුවකුගේ ණය කාඩ්පතක් (Credit Card) භාවිතා කර ඉන්දියාවේදී රුපියල් මිලියනයක භාණ්ඩ මිලදී ගත් බවට නිරෝෂන් පාදුක්ක මහතා කළ ප්‍රකාශය මෙම නෛතික පියවරට හේතු වී ඇත.
අමාත්‍යවරයා සිය නීතිඥ සම්පත් යාලෙවත්ත මහතා මාර්ගයෙන් අවධාරණය කරන්නේ මෙම චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත සහ ද්වේශසහගත අසත්‍යයන් බවයි. තම නිකැළැල් දේශපාලන කීර්ති නාමයට හානි කරමින් මහජනතාව නොමඟ යැවීමට ගත් මෙම උත්සාහය වෙනුවෙන්, එන්තරවාසිය ලැබී දින 14ක් ඇතුළත රුපියල් බිලියනයක මුදලක් ගෙවන ලෙස දැනුම් දී තිබේ. එම මුදල ගෙවීම පැහැර හැරියහොත් නඩු ගාස්තු ද සහිතව වන්දිය අය කර ගැනීමට අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව එම ලේඛනය මගින් වැඩිදුරටත් දන්වා ඇත.














