නවීන තාක්ෂණික මෙවලම් බහුලව භාවිත කිරීම හේතුවෙන් වර්තමාන දරුවන් සහ තරුණ පරපුර අතර ‘වියළි ඇස’ (Dry Eye) නමැති රෝගී තත්ත්වය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව වෛද්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති. ඇසෙහි ස්වාභාවික තෙතමනය පවත්වා ගැනීමට අවශ්‍ය කඳුළු නිසි පරිදි නිපදවීමට නොහැකි වීම හෝ නිපදවන කඳුළු ඉක්මනින් වාෂ්ප වී යාම මෙම රෝගයට ප්‍රධාන හේතුවයි. බැලූ බැල්මට කඳුළු යනු ජලය ලෙස පෙනුණද, එය ස්තර තුනකින් සමන්විත සංකීර්ණ ද්‍රවයකි:
– පිටත තෙල් (Lipid) ස්තරය: කඳුළු ඉක්මනින් වාෂ්ප වීම වළක්වයි.
– මැද ජලය (Aqueous) ස්තරය: ඇස පිරිසිදු කර පෝෂණය සපයයි.
= ඇතුළත මියුසින් (Mucin) ස්තරය: කඳුළු ඇසෙහි මතුපිට ඒකාකාරීව පැතිරවීමට උපකාරී වේ.
ජංගම දුරකථන සහ පරිගණක දෙස එක එල්ලේ බලා සිටීමේදී ඇසිපිය හෙළන වාර ගණන අඩුවීම නිසා මෙම ස්තරවල සමතුලිතතාවය බිඳී ගොස් ඇස වියළීමට ලක්වේ. මීට අමතරව වායුසමනය කළ කාමරවල වැඩි වේලාවක් රැඳී සිටීම, සිවිකාච (Contact Lenses) පැලඳීම සහ ඇතැම් ඖෂධවල බලපෑම ද මීට හේතු වේ. ඇසට වැලි කැටයක් ඇතුළු වූවා වැනි දැනීම, රත් පැහැ වීම, බොඳ වී පෙනීම සහ ආලෝකය දෙස බැලීමේ අපහසුව මෙහි ප්‍රධාන රෝග ලක්ෂණයි.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මෙය ‘වාත දෝෂය’ කෝප වීම නිසා ඇතිවන තත්ත්වයක් ලෙස හඳුන්වන අතර, වාත ශමන ප්‍රතිකාර මගින් ඇසට පෝෂණය ලබා දී පෙනීම වර්ධනය කළ හැකි බව විශේෂඥ වෛද්‍ය ආර්. එල්. වයි. යූ. රත්නායක මහතා පෙන්වා දෙයි.














