ශ්‍රී ලංකාවේ 78 වැනි ජාතික නිදහස් දිනය සමරන මෙම අවස්ථාවේදී, සියලු ජනතාව එක්ව ගොඩනැගූ මහජන රජය මේ වන විට රට අලුත් මාවතකට අවතීර්ණ කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරයි. නිදහස් දිනය වෙනුවෙන් සුබ පැතුම් එක්කරමින් ඇය අවධාරණය කළේ, මානුෂීය ගුණාංගවලින් පිරිපුන්, බුද්ධිමත් අනාගත පරපුරක් උදෙසා දේශය ගොඩනැගීමේ ඓතිහාසික කාර්යය රජය ආරම්භ කර ඇති බවයි. සවිමත් ආර්ථික පදනමක් මත රට ස්ථාවර කිරීම, නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරීම සහ ජාතිවාදයෙන් තොර සමානාත්මතාවය සහිත සමාජයක් ගොඩනැගීම රජයේ ප්‍රමුඛ පරමාර්ථය බවද අග්‍රාමාත්‍යවරිය සිය පණිවුඩයේ සඳහන් කර තිබේ.
ඩිජිටල්කරණය වූ ආර්ථිකයක් සහ විශ්වසනීය නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් හරහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ සන්නාමගත කිරීමට පියවර ගන්නා බවත්, ග්‍රාමීය දුප්පත්කම තුරන් කර කිසිදු පුරවැසියෙකු මඟ නොහැරෙන සුබසාධන යාන්ත්‍රණයක් සැකසීමට කැපවන බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය. පටු දේශපාලන අරමුණු පසෙකලා සමස්ත ජාතියේ උන්නතිය වෙනුවෙන් ආරම්භ වී ඇති මෙම “පුනරුද යුගයේ” සාමුහික ඇරඹුමට අත්වැල් බැඳගන්නා ලෙස අග්‍රාමාත්‍යවරිය සියලු ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කර සිටී.














