වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට සැලසුම් කරන බව ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙඩ්රෝ සැන්චෙස් (Pedro Sánchez) ප්‍රකාශ කර තිබේ. ඩුබායි හි පැවති ලෝක රාජ්‍ය සමුළුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ, ඇබ්බැහි වීම්, අපයෝජන, අසභ්‍ය දර්ශන සහ ප්‍රචණ්ඩත්වය පිරි “ඩිජිටල් වනචාරී බිමෙන්” (Digital Wild West) දරුවන් ආරක්ෂා කළ යුතු බවයි. මෙම නව නීති යටතේ සමාජ මාධ්‍ය ආයතනවල විධායක නිලධාරීන් තම වේදිකාවල පළවන හානිකර අන්තර්ගතයන් සම්බන්ධයෙන් සෘජුවම වගකිව යුතු අතර, වයස තහවුරු කිරීමේ දැඩි ක්‍රමවේද හඳුන්වා දීම ද අනිවාර්ය වනු ඇත.
මේ වන විට ඕස්ට්‍රේලියාව ලොව ප්‍රථම වරට මෙවැනි තහනමක් හඳුන්වා දී ඇති අතර, ප්‍රංශය, ඩෙන්මාර්කය, ඔස්ට්‍රියාව සහ එක්සත් රාජධානිය ද මෙවැනි සීමාවන් පැනවීමට සලකා බලමින් සිටී. කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය සමාගම් තර්ක කරන්නේ මෙම තහනම ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගිකව දුෂ්කර බවත් එමගින් යොවුන් පිරිස් හුදකලා විය හැකි බවත්ය. ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයාගේ මෙම තීරණයට විරෝධය දක්වමින් X (ට්විටර්) හිමිකරු වන ඉලෝන් මස්ක් (Elon Musk) ඔහුව “තිරශ්චීන පාලකයෙකු” ලෙස හඳුන්වා දී තිබේ. ප්‍රංශය ද එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට සැලසුම් කර ඇති අතර යුරෝපය පුරා මෙම නව නීතිමය ප්‍රවණතාව වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.














