ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවන ලද ඓතිහාසික “ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ” වන්දනා කිරීමේ මහෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පස්වරුවේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ආරම්භ විය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ උපන් ගම් ප්‍රදේශය වන ගුජරාට්හි ‘දෙව්නි මෝරි’ පුරාවිද්‍යා භූමියෙන් හමුවූ මෙම ධාතූන් වහන්සේ, මීට පෙර කිසිදු අවස්ථාවක ඉන්දියාවෙන් පිටතට වැඩම කරවා නොමැති වීම විශේෂත්වයකි. කටුනායක ගුවන් තොටුපොළින් මෙරටට වැඩම කළ ධාතූන් වහන්සේ විශේෂ රථ පෙරහැරකින් ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරවීමෙන් අනතුරුව, ජනාධිපතිවරයා විසින් ප්‍රථම මල් පූජාව සිදු කරමින් මහජන වන්දනාව සඳහා අවස්ථාව සලසා දෙන ලදී.
ගුජරාට් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ආචාර්ය දේව්ව්‍රත් මහතා ඇතුළු ඉන්දීය රජයේ විශේෂ නියෝජිත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම පුණ්‍යෝත්සවය ඉන්දු-ශ්‍රී ලංකා මිත්‍රත්වයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකේ. හෙට (05) උදෑසන සිට පෙබරවාරි 11 වැනිදා දක්වා පුරා දින 7ක් පැය 24 පුරාම මෙම සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමට මෙරට ජනතාවට අවස්ථාව හිමිවේ. මේ සඳහා ගංගාරාම විහාරස්ථානයේ විශේෂ ආරක්ෂක සහ පහසුකම් සලසා ඇති අතර, දෙරටේම මහා සංඝරත්නය සහ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීහු මෙම ආරම්භක අවස්ථාවට එක්ව සිටියහ.














