මිනිස් ඉතිහාසයේ ඉදිකළ විශාලතම ගඩොල් නිර්මාණයක් වන ශ්‍රී ලංකාවේ ජේතවනාරාම ස්තූපය පිළිබඳව CNN ජාත්‍යන්තර පුවත් සේවය විශේෂ වාර්තාවක් පළ කර තිබේ. “සදාකාලිකත්වය සඳහාම ඉදිවූ යෝධ මහා ව්‍යුහයක්” ලෙස ජේතවනාරාමය හඳුන්වන CNN නාලිකාව පෙන්වා දෙන්නේ, ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේදී මෙය නිමවන විට ලොව පැවති තෙවන විශාලතම මිනිස් නිර්මාණය වූයේ ගීසාහි පිරමිඩවලට පමණක් දෙවැනි වෙමින් බවයි.
අනුරාධපුරයේ සිට ලියන ලද මෙම විශේෂාංග ලිපිය මගින් ජේතවනාරාමයේ ඉංජිනේරුමය විශිෂ්ටත්වය සහ එහි ඇති සංස්කෘතික වටිනාකම ලොවට විවර කර දී ඇත. ගඩොල් මිලියන 93.3ක් භාවිත කරමින් නිමවා ඇති මෙම ස්තූපයේ ඇති ගඩොල් ප්‍රමාණයෙන් ලන්ඩනයේ සිට එඩින්බරෝ දක්වා අඩි තුනක් උස තාප්පයක් ඉදිකළ හැකි බව එහි සඳහන් වේ. වසර ගණනාවක් වනාන්තරයෙන් වැසී ලෝක අවධානයෙන් ගිලිහී තිබූ මෙම පුදුම සහගත නිර්මාණය නැවත ලෝක වේදිකාවට රැගෙන ඒමට CNN නාලිකාව ගත් මෙම පියවර මෙරට උරුම සංචාරක කර්මාන්තයට (Heritage Tourism) ඉමහත් ශක්තියක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














