ඇමරිකානු ලිංගික අපරාධකරු ජෙෆ්රි එප්ස්ටයින් (Jeffrey Epstein) සතු වූ රහස්‍ය ලිපිගොනු ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ, ප්‍රංශයේ හිටපු සංස්කෘතික අමාත්‍ය 86 හැවිරිදි ජැක් ලැන්ග් (Jack Lang) සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. ඔහු වසර 13ක කාලයක් පැරිස් නුවර පිහිටි ප්‍රමුඛ පෙළේ සංස්කෘතික ආයතනයක් වන ‘අරාබි ලෝක ආයතනයේ’ (IMA) සභාපතිවරයා ලෙස කටයුතු කළේය.
එප්ස්ටයින්ට අදාළව ඇමරිකානු බලධාරීන් නිකුත් කළ මිලියන 3.5ක ලේඛන අතර ජැක් ලැන්ග්ගේ නම 670 වතාවකට වඩා සඳහන් වී ඇති අතර, ඔහු සහ ඔහුගේ දියණිය බදු වංචා සහ මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ බවට ප්‍රංශ බලධාරීන් මූලික පරීක්ෂණ ආරම්භ කර තිබේ. තම දියණිය ද මීට පෙර ඇය දැරූ තනතුරකින් ඉල්ලා අස් වූ අතර, ලැන්ග් පවසන්නේ මෙම චෝදනා පදනම් විරහිත බවයි.
ප්‍රංශ රජයෙන් වාර්ෂිකව යුරෝ මිලියන 12කට අධික ප්‍රතිපාදන ලබන මෙම ආයතනයට තම නම නිසා සිදුවන පීඩනය වැළැක්වීම සඳහා තමන් ඉදිරි පාලක මණ්ඩල රැස්වීමේදී ඉල්ලා අස්වන බව ඔහු විදේශ අමාත්‍යවරයාට දැනුම් දී ඇත. එප්ස්ටයින් සමඟ සම්බන්ධතා පැවැත්වූ ඉහළම පෙළේ ප්‍රංශ දේශපාලනඥයා ලෙස මොහු සැලකේ.














