ට්‍රම්ප් පැනවූ බදු ඉවත් කරගැනීමට ඉන්දියාවෙන් එකඟතාවක්
අප්‍රේල් මාසයේ සිට රුසියානු බොරතෙල් ඇණවුම් අත්හිටුවීමට තීරණය කෙරේ
ඇමරිකා එක්සත් ජනපදය සමඟ නව වෙළෙඳ ගිවිසුමකට එළඹීමේ අරමුණින් ඉන්දීය පිරිපහදු සමාගම් රුසියානු බොරතෙල් මිලදී ගැනීම සීමා කිරීමට තීරණය කර ඇත. ලබන අප්‍රේල් මාසයේදී ලබාගැනීමට නියමිත බොරතෙල් ඇණවුම් සඳහා රුසියානු සැපයුම්කරුවන් සම්බන්ධ කර නොගැනීමට ඉන්දීය තෙල් සමාගම් තීරණය කර ඇති බව වාර්තා වේ.
ඉන්දියාව විසින් රුසියානු තෙල් මිලදී ගැනීමට එරෙහිව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා තිබූ 25%ක තීරු බදු ඉවත් කර ගැනීමට දෙරට අතර එකඟතාවක් ඇති වී තිබේ. රුසියානු තෙල් මත යැපීම සෘජුව හෝ වක්‍රව නතර කිරීමට නවදිල්ලිය එකඟ වී ඇති බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. ඒ අනුව ඉන්දීය තෙල් සංස්ථාව (IOC), භාරත් පෙට්‍රෝලියම් සහ රිලයන්ස් වැනි දැවැන්ත සමාගම් දැනටමත් රුසියානු තෙල් මිලදී ගැනීම් අවම කරමින් පවතින බව වෙළෙඳ ආරංචි මාර්ග පවසයි.
2022 වසරේ යුක්රේන ආක්‍රමණයෙන් පසු රුසියානු තෙල් වැඩිපුරම මිලදී ගත් රට බවට ඉන්දියාව පත් වූ අතර, 2025 වසරේදී එය දිනකට බැරල් මිලියන 2ක් දක්වා ඉහළ ගියේය. කෙසේ වෙතත්, නව වෙළෙඳ උපායමාර්ගය යටතේ රුසියානු තෙල් ආනයනය දිනකට බැරල් ලක්ෂ 5-6 දක්වා සැලකිය යුතු ලෙස අඩු කිරීමට ඉන්දියාව බලාපොරොත්තු වේ. රුසියාව වෙනුවට මැදපෙරදිග, අප්‍රිකානු සහ දකුණු ඇමරිකානු රටවලින් සිය බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට ඉන්දියාව මේ වන විට සැලසුම් කර ඇත.














