යාපනය, චෙම්මනි ප්‍රදේශයේ පිහිටි සමූහ මිනීවළේ තෙවන අදියරේ කැණීම් කටයුතු ආරම්භ කරන දිනය පිළිබඳ තීරණය ලබන මාර්තු මස 16 වනදා ප්‍රකාශයට පත් කරන බව යාපනය මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නිවේදනය කළේය. මහේස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර් මහතා ඉදිරියේ අද පෙරවරුවේ මෙම නඩුව කැඳවනු ලැබූ අතර, එහිදී දැනට සිදුකළ කැණීම් කටයුතු පිළිබඳ සමාලෝචනයක් ද සිදු කෙරිණි.
කැණීම් සිදුකළ ස්ථානවල රැඳී තිබූ වැසි ජලය ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව මෙහිදී අධිකරණයට දැනුම් දුන් අතර, මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ ස්ථානය පිළිබඳ ක්ෂේත්‍ර පරීක්ෂාවක් ද සිදු කරන ලදී. තෙවන අදියරේ කැණීම් සඳහා වැය වන ඇස්තමේන්තුගත පිරිවැය වාර්තාව යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඒ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. ඒ අනුව, කැණීම් ආරම්භ කරන නිශ්චිත දින වකවානු මාර්තු 16 වනදා නියම කිරීමට නියමිතය.














