ශ්‍රී ලංකාවේ පාසල් සහ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රවල නිරත විශිෂ්ට ගුරුවරුන් ඇගයීම සඳහා සංවිධානය කරන ලද “ජාතික ගුරු සම්මාන 2025” උළෙල පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. තුර්කි තානාපති සෙමිහ් ලුට්ෆු තුර්ගුට් මහතා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උළෙලේදී විෂය පථයන් රැසක් නියෝජනය කරමින් විශිෂ්ටයින් සම්මානයට පාත්‍ර විය.
මෙහිදී උසස් අධ්‍යාපන අංශයේ විශිෂ්ටයින් 15 දෙනෙකු සහ පාසල් අධ්‍යාපන අංශයේ ජයග්‍රාහකයින් 25 දෙනෙකු සම්මාන ලැබූ අතර, දිවයිනේ පළාත් නවයම නියෝජනය වන පරිදි එක් පළාතකින් තිදෙනෙකු බැගින් තෝරා ගැනීම විශේෂත්වයකි. රසායන විද්‍යා විෂය ක්ෂේත්‍රයට කළ සුවිශේෂී සේවය වෙනුවෙන් මහාචාර්ය සුජාතා හේවාගේ මහත්මියට මෙහිදී “ජීවිත කාලීන උපහාර සම්මානය” (Lifetime Award) පිරිනැමුණු අතර, අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට ගුරුවරුන් දක්වන දායකත්වය මෙහිදී ඇගයීමට ලක් විය.














