නිවසකට පැමිණ දරුවන්ට උපකාරක පන්ති පවත්වන මුවාවෙන් එම පවුලේ ඥාති කාන්තාවන් දෙදෙනෙකු සතු රුපියල් ලක්ෂ 59ක් වටිනා ස්වර්ණාභරණ වංචනික ලෙස ලබාගත් 31 හැවිරිදි ගුරුවරයෙකු කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත. අලුත්ගම, ගනේගම පදිංචිකරුවෙකු වන මෙම සැකකරු, හදිසි මුදල් අවශ්‍යතාවක් පවසමින් මාසයක් ඇතුළත නැවත ලබාදෙන පොරොන්දුව මත මෙම රන් භාණ්ඩ ලබාගෙන තිබේ.
අලුත්ගම, කළුවාමෝදර පදිංචි 36 හැවිරිදි කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, ඇයගේ සොහොයුරාගේ දරුවාට පන්ති පැවැත්වීමට පැමිණි මෙම සැකකරු 2025 මාර්තු මාසයේදී පවුම් 12 1/2ක් බරැති රුපියල් ලක්ෂ 40 1/2ක් වටිනා රන් භාණ්ඩ ලබාගෙන නැවත ලබා දී නොමැත. මීට අමතරව, එම ප්‍රදේශයේම පදිංචි 38 හැවිරිදි තවත් කාන්තාවකගෙන් ද 2024 නොවැම්බර් මාසයේදී පවුම් 6 1/2ක් බරැති රුපියල් ලක්ෂ 19ක් වටිනා ස්වර්ණාභරණ මෙලෙසම වංචා කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.














