කොළඹ වරායේ සිට අනිවාර්ය භෞතික පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නිදහස් කිරීමේ මහා පරිමාණ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 11 වනදා තෙවන දිනටත් රැස් විය.
මෙහිදී විශේෂ පුවතක් වූයේ වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා මෙම කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇති බව නිල වශයෙන් දැනුම් දීමයි. ඔහු වෙනුවට ඉදිරියේදී වෙනත් සාමාජිකයෙකු පත් කිරීමට නියමිත බව කාරක සභා සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.
මෙම රැස්වීමේදී ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් කැඳවා තිබූ අතර, ඔවුන්ගෙන් අදාළ සිද්ධියට අදාළව දීර්ඝ ලෙස සාක්ෂි විමසීම සිදු විය. නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, සුනිල් වටගල, අර්කම් ඉල්යාස් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, අජිත් පී. පෙරේරා ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ. මෙම බහාලුම් තුළ තිබූ ද්‍රව්‍ය සහ ඒවා නිදහස් කිරීමට උපදෙස් දුන් පාර්ශවයන් කවුරුන්ද යන්න පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.














