ගොවීන් සුරක්ෂිත කිරීමේ අරමුණින් රජය ආරම්භ කළ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ යටතේ මේ වන විට වී මෙට්‍රික් ටොන් 1500කට අධික ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. දැනටමත් අස්වනු නෙළීම සක්‍රීයව සිදුවන ප්‍රදේශවල වී ගබඩා 75කට අධික සංඛ්‍යාවක් විවෘත කර ඇති අතර, අනෙකුත් සියලුම ගබඩා ද කඩිනමින් විවෘත කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම මිලදී ගැනීමේ ක්‍රියාවලිය යටතේ රජය විසින් සහතික මිල ගණන් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120කට ද, සම්බා වී කිලෝවක් රුපියල් 130කට ද සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 140කට ද රජයේ ගබඩාවලට අලෙවි කිරීමට ගොවීන්ට අවස්ථාව සලසා දී ඇත. පෞද්ගලික අංශයේ අතරමැදියන්ගෙන් සිදුවන සූරාකෑම් වැළැක්වීමට මෙම මැදිහත්වීම ඉවහල් වී ඇති බවත්, ඒ පිළිබඳව ගොවි ජනතාව තුළ විශාල උනන්දුවක් පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මීට අමතරව පාරිභෝගිකයාට සහන සැලසීම සඳහා නිෂ්පාදන වියදම අවම කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ද රජය විසින් ආරම්භ කර ඇත. මෙහි එක් පියවරක් ලෙස අනුරාධපුර ප්‍රදේශයේදී රාජ්‍ය මැදිහත්වීම මත සත්ත්ව ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ. සත්ත්ව ආහාර නිෂ්පාදන පිරිවැය අඩු කිරීම හරහා වෙළඳපොළේ බිත්තර සහ කුකුළු මස් මිල ගණන් පහත හෙළීම රජයේ මූලික ඉලක්කය වී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය.














