ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම (AML/CFT) පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ 2026 වසර සඳහා වන ප්‍රථම රැස්වීම ශ්‍රී ලංකා මහ බැංකුවේදී පසුගියදා පැවැත්විණි. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම රැස්වීමේදී, ශ්‍රී ලංකාව මුහුණ දීමට නියමිත 3 වැනි අන්‍යෝන්‍ය ඇගයීමේ (Mutual Evaluation) වැදගත්කම පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය.
මෙම ඇගයීම ජාතික ප්‍රමුඛතාවයක් ලෙස සලකා කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබා දී ඇති උපදෙස් සිහිපත් කළ මහ බැංකු අධිපතිවරයා, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වීම සඳහා සියලුම පාර්ශ්වකරුවන්ගේ උපරිම කැපවීම අවශ්‍ය බව අවධාරණය කළේය.
මෙහිදී විශේෂ කරුණක් ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා විසින් අතථ්‍ය වත්කම් සේවා සපයන්නන් (Virtual Asset Service Providers – VASPs) නියාමනය කිරීම සඳහා වන යෝජිත සංකල්ප පත්‍රිකාව ඉදිරිපත් කරන ලදී. FATF නිර්දේශයන්ට අනුව ඩිජිටල් වත්කම් සහ ක්‍රිප්ටෝ මුදල් වැනි අතථ්‍ය වත්කම් මෙහෙයවන්නන් සඳහා ලියාපදිංචිය, ඩිජිටල් KYC (පාරිභෝගිකයා හඳුනා ගැනීමේ ක්‍රියාවලිය) සහ දැඩි අධීක්ෂණ ප්‍රොටෝකෝල ඇතුළත් ශක්තිමත් නියාමන රාමුවක් මෙරට තුළ ස්ථාපිත කිරීමට මෙහිදී යෝජනා විය.
මෙම අදියරගත නියාමන රාමුව ක්‍රියාත්මක කිරීමේ කාලරාමුව පිළිබඳවද කමිටුව දැනුවත් කළ අතර, මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂිකා ආචාර්ය සුභානි කීර්තිරත්න මහත්මිය විසින් ඉදිරි ඇගයීම් ක්‍රියාවලියෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව අනුගමනය කළ යුතු උපායමාර්ගික පියවර පැහැදිලි කරන ලදී.














