ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාවේ සහ පිළිකා රෝග විනිශ්චයේ දැවැන්ත පෙරළියක් සනිටුහන් කරමින්, මෙරට ප්‍රථම සයික්ලොට්‍රෝන් පාදක විකිරණශීලී ඖෂධ නිෂ්පාදන විද්‍යාගාරය අද කටුනායකදී නිල වශයෙන් විවෘත විය. විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය, දේශීයව විකිරණශීලී ඖෂධ නිෂ්පාදනය ආරම්භ කරන සන්ධිස්ථානීය ජාතික මුලපිරීමක් ලෙස හැඳින්විය හැකිය. ඇක්සස් මෙඩිකල් ට්‍රේසර්ස් සමාගම, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වයක් ලෙස මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත.
මෙතෙක් කාලයක් මෙරට පිළිකා රෝග විනිශ්චය සඳහා යොදාගන්නා PET ස්කෑන් පරීක්ෂණ සඳහා අත්‍යවශ්‍ය වන ෆ්ලෝරෝඩියෝඔක්සිග්ලූකෝස් (FDG) නමැති විකිරණශීලී ඖෂධය ඉන්දියාවෙන් ආනයනය කිරීමට සිදු විය. මෙම ඖෂධය නිපදවූ මොහොතේ සිට එහි සක්‍රීයතාවය වේගයෙන් ක්ෂය වන බැවින්, එය ගුවන් මගින් මෙරටට ගෙන එන විට එහි සක්‍රීයතාවයෙන් 97%ක්ම අහිමි වී තිබීම ප්‍රධාන ගැටලුවක් විය. මේ හේතුවෙන් රෝග විනිශ්චයේ නිරවද්‍යතාව පිළිබඳ ගැටලු මතු වූවා මෙන්ම, වසරකට රෝගීන් 35,000ක් පමණ PET ස්කෑන් පරීක්ෂණ ඉල්ලා සිටියද ඖෂධ හිඟය හා ක්ෂය වීම නිසා පරීක්ෂා කිරීමට හැකි වූයේ රෝගීන් 1,500ක් වැනි ඉතා සීමිත පිරිසක් පමණි.
දේශීයව මෙම විකිරණශීලී ඖෂධ නිෂ්පාදනය ආරම්භ කිරීමත් සමඟ මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වනු ඇතැයි අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. නව විද්‍යාගාරය හරහා මිලි කියුරි 10ක මාත්‍රාවක පිරිවැය ඩොලර් 440 සිට ඩොලර් 245 දක්වා අඩු කිරීමට අපේක්ෂා කරන අතර, එමගින් රෝගීන් වැඩි පිරිසකට ඉතා අඩු මුදලකට සහ වේගවත්ව PET ස්කෑන් පහසුකම් ලබා දීමට හැකියාව ලැබේ. 2030 වන විට පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව 23%කින් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති පසුබිමක, රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට මෙම දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය මහඟු පිටුවහලක් වනු ඇත.
මීට අමතරව මෙම ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාව තුළ න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාව හදාරන විශ්වවිද්‍යාල සිසුන්ට පුහුණු හා පර්යේෂණ කටයුතු සඳහා අවශ්‍ය නවීන පහසුකම් ද සැලසේ. ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාව න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාවෙන් ස්වයංපෝෂිත කිරීමට මෙම පියවර ඉවහල් වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ඇක්සස් සමූහ සමාගමේ සභාපති සුමල් පෙරේරා සහ ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සියේ විශේෂඥ මහාචාර්ය එම්.ආර්.අයි.පිල්ලෙයි ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වූහ.














