ආසියා පැසිෆික් සදාහරිත බාලදක්ෂ (Asia Pacific Evergreen Scouts – APES) කළමනාකරණ කමිටුවේ විශේෂ රැස්වීමක් මෑතකදී මලයාසියාවේ ක්වාලාලම්පූර් අගනුවරදී පැවැත්විණි. මෙම වැදගත් ජාත්‍යන්තර හමුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එහි සාමාජිකත්ව අධ්‍යක්ෂ, ප්‍රකට නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා සහභාගී විය.
කලාපීය බාලදක්ෂ ව්‍යාපාරයේ ඉදිරි ගමන්මඟ සහ කළමනාකරණ ක්‍රියාවලීන් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවට අමතරව මාලදිවයින, ඉන්දියාව, බංග්ලාදේශය, මලයාසියාව, මැකාවු, සිංගප්පූරුව සහ හොංකොං යන රටවල් හා පාලන ප්‍රදේශ නියෝජනය කරමින් කමිටු සාමාජිකයෝ රැසක් එක්ව සිටියහ.
ආසියා පැසිෆික් කලාපය තුළ බාලදක්ෂ ව්‍යාපාරය තවදුරටත් ව්‍යාප්ත කිරීම සහ සාමාජික රටවල් අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම මෙම රැස්වීමේ මූලික අරමුණක් විය. විශේෂයෙන්ම ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා වැනි ප්‍රවීණ බාලදක්ෂ නිලධාරියෙකු මෙම කළමනාකරණ කමිටුව නියෝජනය කිරීම ශ්‍රී ලංකාව ලැබූ සුවිශේෂී ජාත්‍යන්තර ඇගයීමකි.














