කුට්ටිගල යුද හමුදා කඳවුරේ සේවය කළ සෙබළෙකු විදුලි සැර වැදී මියයාම සහ එම මරණය ඝාතනයක් බව වසන් කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සැරයන්වරයෙකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන මාර්තු 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි. මියගොස් තිබුණේ මාතලේ ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි චාලක මදුෂාන් ජයසිංහ නැමැති දෙදරු පියෙකු වන අතර, වසරකට පෙර එනම් 2025 ජනවාරි මස අතුරුදන් වූ ඔහුගේ සිරුර සතියකට පසු කඳවුරු භූමියේ කැලෑවක තිබී හමු විය.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකාර සැරයන්වරයා ඇතුළු පිරිස ඌරන් දඩයම් කිරීම සඳහා කඳවුරේ විදුලි පද්ධතියෙන් අනවසර රැහැනක් ඇද තිබූ බවත්, රාජකාරියේ නිරතව සිටි සෙබළාගේ පය එහි පැටලීමෙන් විදුලි සැර වැදී ඔහු මියගොස් ඇති බවත්ය. සිද්ධියෙන් පසු බියට පත් සැකකරුවන් සෙබළාගේ සිරුර කැලෑවකට ඇද දමා ඔහුගේ ජංගම දුරකථනය සහ විදුලි රැහැන් රෝලය අසල වූ ජල වලකට විසි කර සාක්ෂි වසන් කිරීමට පියවර ගෙන තිබේ. මුලදී මෙය සාමාන්‍ය මරණයක් ලෙස සැලකුණ ද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ දීර්ඝ දුරකථන වාර්තා විශ්ලේෂණයකින් පසු මෙම සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයේ සුලමුල අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් විය.
අත්අඩංගුවට ගත් පිරිස අතර හමුදා සැරයන්වරයාට අමතරව එම කඳවුරේම සේවය කළ පෑස්සුම් ශිල්පියෙකු, කරණවෑමියෙකු සහ තවත් සිවිල් පුද්ගලයෙකු සිටින බව පොලිසිය පවසයි. මොවුන්ට එරෙහිව අපරීක්ෂාකාරී ක්‍රියාවක් සිදු කිරීම, සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය සහ සාක්ෂි වසන් කිරීම යන චෝදනා යටතේ නඩු පවරා ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවයි.














