දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇද හැලෙමින් පවතින අතර, ඊයේ (17) දිනය තුළ වැඩිම වර්ෂාපතනය ලෙස මිලිමීටර් 128.9 ක් මඩකලපුව ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් පිහිටි මෙම අඩු පීඩන කලාපය තවදුරටත් සක්‍රීයව පවතින බැවින් මහජනතාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බවයි. මේ අතර නුවරඑළිය ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 13.4 ක අවම උෂ්ණත්වයක් වාර්තා වී ඇති අතර දිවයිනේ කාලගුණික රටාවේ පැහැදිලි වෙනස්වීම් නිරීක්ෂණය වෙමින් පවතී.
මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ද දැඩි කාලගුණික වෙනස්වීම් අපේක්ෂා කරන අතර විශේෂයෙන් ගාල්ල සිට හම්බන්තොට දක්වාත්, මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. කළුතර සිට මන්නාරම දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 50 දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ රළු වීමේ අවදානමක් පවතී. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.














