ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය අද (18) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඇති වූ හදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් විද්‍යුත් සංචාරක අවසරය (ETA) ලබා දීමේ ක්‍රියාවලියට තාවකාලිකව බාධා එල්ල වී ඇති බවයි. මෙම තත්ත්වය හමුවේ විදේශීය සංචාරකයන්ගේ ගුවන් ගමන් සඳහා බාධාවක් නොවන පරිදි විශේෂ උපදෙස් මාලාවක් ද නිකුත් කර තිබේ.
ඒ අනුව ETA සඳහා දැනටමත් අයදුම් කර ඇති නමුත් එහි අනුමැතිය ලැබී නොමැති සංචාරකයන්ට සිය සංචාරක සැලසුම් එලෙසම ක්‍රියාත්මක කළ හැකිය. අනුමැතිය ලැබී නොතිබුණද ඔවුන්ට ගුවන් යානයට ගොඩවීමට අවසර දෙන ලෙස අදාළ ගුවන් සමාගම් සහ බලධාරීන් දැනුවත් කර ඇති අතර, එවැනි සංචාරකයන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි පසු ඔවුන්ගේ තොරතුරු සත්‍යාපනය කර අවශ්‍ය පහසුකම් සැලසීමට ආගමන විගමන නිලධාරීන් කටයුතු කරනු ඇත.
මෙම තාක්ෂණික දෝෂය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රමුඛතාවය දී කටයුතු කරන අතර සිදුවූ අපහසුතාව පිළිබඳව ඔවුන් සිය කනගාටුව පළ කර සිටියි. මීට පෙර පෙබරවාරි 12 වැනිදා ද පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර සහ වීසා නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ අතර, මෙය එහිම දිගුවක් ද යන්න පිළිබඳව බලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














