ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනයකට අනුව නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (19) නවදිල්ලි නුවර පැවැත්වෙන ජාත්‍යන්තර කෘත්‍රිම බුද්ධි (AI) සමුළුව ඇමතීමට නියමිතය.
නවදිල්ලි ඉන්ධිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වූ ජනාධිපතිවරයාව ඉන්දීය රාජ්‍ය අමාත්‍ය ශ්‍රී රාජ් භූෂන් චෞද්‍රි මහතා ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිසක් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව සහ සදාචාරාත්මකව භාවිත කිරීමේ අරමුණින් මෙම සමුළුව සංවිධානය කර තිබේ.
මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, එහිදී දෙරට අතර ආර්ථික, තාක්ෂණික සහ ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳව අවධානය යොමු කරනු ඇත. මීට අමතරව සමුළුවට සහභාගී වන තවත් රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු සමඟ ද ජනාධිපතිවරයා විශේෂ සාකච්ඡා පවත්වනු ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සහ නවීන තාක්ෂණය රාජ්‍ය පාලනයට එක්කර ගැනීම පිළිබඳව වත්මන් රජය දක්වන උනන්දුව මෙම ජාත්‍යන්තර සමුළුව ඇමතීම හරහා තවදුරටත් තහවුරු වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.














