හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (18) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, අධි ආරක්ෂිත කලාපයක් අසලදී නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමත් සමඟ මෙරට නීතියේ ආධිපත්‍යය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවයි.
පසුගිය සිකුරාදා (පෙබරවාරි 13) බත්තරමුල්ල, අකුරේගොඩ යුද හමුදා මූලස්ථානය ආසන්නයේදී නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිඳ අමුඅමුවේ ඝාතනය කිරීම හේතුවෙන් නීතිඥ වෘත්තිකයන්ට තම රාජකාරිය කිරීමට බියක් ඇති වී තිබේ. කිසිදු විමර්ශනයකින් තොරව මෙම ඝාතනය මත්ද්‍රව්‍ය කණ්ඩායම්වලට සම්බන්ධ බවට ප්‍රචාරය කිරීම විමර්ශන විකෘති කිරීමක් බව ද ඔහු සඳහන් කළේය.
සාක්ෂි මත පදනම් නොවී නඩු පවරන ලෙස නීතිපතිවරයාට බලපෑම් කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බවත්, වර්තමානයේ නීතිපති දෙපාර්තමේන්තුවට පෙර නොවූ විරූ දේශපාලන බලපෑම් එල්ල වෙමින් පවතින බවත් ඔහු චෝදනා කළේය.
ආණ්ඩුවේ අදූරදර්ශී ක්‍රියාකලාපය නිසා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු රජය විසින්ම පත් කළ ඉහළ නිලධාරීන් ඉල්ලා අස්වෙමින් සිටින බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම යෝජිත ත්‍රස්ත විරෝධී පනත නීතිගත වුවහොත් රටේ ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය සම්පූර්ණයෙන්ම විනාශ වන බවට ඔහු අනතුරු ඇඟවීය.
විපක්ෂයේ සියලු කණ්ඩායම් තම අනන්‍යතාවය රැකගනිමින්, ජාතික ප්‍රශ්න හමුවේ එකට වැඩ කිරීමට “මහජන හඬ සංවිධානය” හරහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී සාකච්ඡා ආරම්භ කළ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.














