පසුගිය දින කිහිපය තුළ වෙළෙඳපොළේ පැවති ගෑස් හිඟය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලිට්‍රෝ ගෑස් සමාගම (Litro Gas) සහතික වන්නේ ඉදිරියේදී දිවයින පුරා අඛණ්ඩව ගෑස් සැපයීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි. පසුගිය සෙනසුරාදා (14) දින සිට දින දෙකක් සැපයුම් ජාලයේ ඇති වූ අඩාල වීමක් සහ අනපේක්ෂිත ලෙස පාරිභෝගික ඉල්ලුම ඉහළ යාම මෙම තාවකාලික හිඟයට හේතු වී තිබේ.
වත්මන් තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා ලිට්‍රෝ සමාගම මේ සතිය තුළ සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි ගෑස් සිලින්ඩර තොගයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන ඇත. එසේම, මෙම මස අග භාගයේදී තවත් ගෑස් නෞකා කිහිපයක් මෙරටට ළඟා වීමට නියමිත බැවින් පාරිභෝගිකයන්ට හිඟයකින් තොරව ගෑස් ලබාගත හැකි වනු ඇත.
ගෑස් හිඟයක් ඇති වේ යැයි අනවශ්‍ය ලෙස බිය වී ගෑස් සිලින්ඩර තොග රැස් කිරීමෙන් වළකින ලෙසත්, එවැනි ක්‍රියාවන් නිසා වෙළෙඳපොළේ කෘත්‍රිම හිඟයක් ඇති විය හැකි බවත් සමාගම වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.














