උතුරු, නැගෙනහිර සහ මලෛයගම් ජනතාව නියෝජනය කරන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (10) පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා තිබේ. වර්තමාන ආර්ථික තත්ත්වය හමුවේ එම ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන සමාජ, ආර්ථික, ජීවන වියදම් ඉහළ යාම සහ යටිතල පහසුකම් ගැටලු පිළිබඳව මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇත.
එමෙන්ම, උතුරු නැගෙනහිර සහ මලෛයගම් ජනතාවගේ සෞඛ්‍ය, අධ්‍යාපන අවශ්‍යතා, පාසල් අධ්‍යාපනය මෙන්ම දරුවන්ගේ පෝෂණ මට්ටම් සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ. ජනතාවගේ සැබෑ ගැටලු විසඳීම සඳහා පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතදීත් අවශ්‍ය මැදිහත්වීම් සිදු කරන බවත්, ප්‍රාදේශීය මට්ටමින් තොරතුරු රැස් කර ඒවාට විසඳුම් ලබාදීම සඳහා මන්ත්‍රීවරුන් අතර සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාමේ වැදගත්කමද විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කර ඇත.













