ශ්‍රී පාද මළුව සහ ඒ අවට පරිසරය පිරිසිදු කිරීමේ “සමනළ සිරි – හරිත වන්දනා” ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන පරිසර අමාත්‍ය ආචාර්ය ධම්මික පටබැඳිගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) උදෑසන නල්ලතන්නියෙන් ආරම්භ විය. 2025-2028 කාලය දක්වා ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ අධි සංවේදී පරිසර කලාපයක් වන ශ්‍රී පාද අඩවිය මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීම සහ වන්දනාකරුවන්ට අවශ්‍ය යටිතල පහසුකම් ප්‍රවර්ධනය කිරීමයි.
මෙම පිරිසිදු කිරීමේ මෙහෙයුම සඳහා ත්‍රිවිධ හමුදාවේ භට පිරිස් 1800ක් ඇතුළුව පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ස්වේච්ඡා සංවිධාන නියෝජනය කරමින් 2500කට අධික පිරිසක් එක්ව සිටිති. ඔවුන් නල්ලතන්නි මාර්ගය සහ රත්නපුර පළාබද්දර රජ මාවත ඔස්සේ ශ්‍රී පාද උඩ මළුව දක්වා වන්දනාකරුවන් විසින් බැහැර කර තිබූ ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු අපද්‍රව්‍ය ඉවත් කිරීමට කටයුතු කරති. මීට සමගාමීව පරිසරය රැක ගැනීමේ වැදගත්කම පිළිබඳ වීදි නාට්‍ය මාලාවක් ද නල්ලතන්නියේදී පැවැත්විණි.
ජනාධිපති ලේකම් කාර්යාලය සහ මධ්‍යම පරිසර අධිකාරිය එක්ව සංවිධානය කළ මෙම අවස්ථාවට නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ආරක්ෂක අංශවල ඉහළ පෙළේ නිලධාරීන් රැසක් සහභාගී වූහ. ලෝක උරුමයක් මෙන්ම ජෛව විවිධත්වයෙන් පොහොසත් සමනළ ස්වභාව රක්ෂිතය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් රජය ගෙන යන මෙම වැඩපිළිවෙළ යටතේ ඉදිරියේදී වන්දනාකරුවන්ට පිරිසිදු ජලය, ආහාර සහ සනීපාරක්ෂක පහසුකම් විධිමත්ව ලබා දීමට ද සැලසුම් කර ඇත.














